Wednesday, May 13, 2015

මෙහෙමත් පළිගැනීමක්

මව්බිම පුවත්පතින්
"විරුද්ධවාදීන්ගෙන් මේ තරම් පළිගන්නා කාලයක් මම දැක නැහැ..."
මෙහෙම කියන්නේ වෙන කවුරුවත් නොව මහින්දය. මහින්ද මෙහෙම කීවේ පහුගිය ඉරිදා පල්ලෙකැලේදීය. දේශපාලනඥයන් බොහොමයක් අමතක වීමේ රෝගය නොහොත් ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන බව රනිල් අගමැති වූ විගස ඉන්දියාවේ දමිළ රූපවාහිනි මාධ්‍යයකට දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. මහින්දත් ඒ රෝගයෙන් පෙළෙනවාද කියන්න දන්නේ නැත. එම නිසා මහින්දට මහින්දගේ අතීතය මතක් කර දීම මේ වෙලාවේ වැදගත්ය.

මහින්ද ජනාධිපති වී පළමුවෙන්ම පළිගත්තේ ඔහුට ඇමැතිකමක් දුන්, ඔහුව විපක්ෂ නායක, අගමැති සහ ජනාධිපති අපේක්ෂක කරපු චන්ද්‍රිකාගෙන්ය. චන්ද්‍රිකාගේ 2006 උපන් දිනයේ දවසේ ඇයව පක්ෂ සභාපති පදවියෙන් ඉවත් කරන ලිපිය ඇය අතට පත් කරනු ලැබීය. ඇයගේ ආරක්ෂාව හතර දෙනකුට සීමා කරනු ලැබීය. ඇය දිගු කලක් විදේශගත වී සිය දියණියගේ විවාහ මංගල උත්සවය ලංකාවේ සමරන්න සූදානම් කළ දිනයේ ඇයගේ නිල නිවෙසේ කාර්යාලයේ භාණ්ඩ එළියට ඇද දමා එය රජයට භාර දෙන්න නියෝග දෙනු ලැබීය. ඒ වෙලාවේ ඇය සිටියේ දියණියගේ සාදයට සූදානම් වෙමින්ය. එය දැන දැනම නියෝගය දුන්නේ එදාය.

මහින්ද 2005 ජනාධිපති වී මහින්ද විරෝධී ස්ථාවරයක සිටි සන්ඩේ ලීඩර් පුවත්පතේ සිංහල පුවත්පත වූ ඉරුදිනෙන්ද පළිගනු ලැබීය. 2006 පෙබරවාරි 4 නිදහස් දිනයට දින දෙක තුනකට පෙර කොළඹ තැන් කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලට එවකට ඉරුදින පුවත්පතේ හිමිකරු පසන් මදනායක සම්බන්ධ යැයි කියා චෝදනා කොට කොළඹ අපරාධ අංශය ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරනු ලැබීය. ඔහුව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසා ඔහු ලීඩර් පුවත්පත් ආයතනයට මුදල් වැය කිරීම නතර කිරීම මහින්දගේ ආණ්ඩුවේ පළමු මෙහෙයුම විය. ඉන්පසු ඉරුදින පුවත්පත මෙන්ම සන්ඩේ ලීඩර් පුවත්පතද වසා දමනු ඇතැයි ආණ්ඩුව ගණන් හැදීය.

මංගල සහ ශ්‍රී පති ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු මහින්දට එල්ල කළ චෝදනාවක් වූයේ 2005 ජනාධිපතිවරණය දිනන්න එල්.ටී.ටී.ඊ.යට සල්ලි දුන්නාය කියන චෝදනාවය. එම චෝදනාව ඉදිරිපත් වූ විගස මහින්දගේ ආණ්ඩුව ශ්‍රී පතිව අත්අඩංගුවට ගත්තේය. 2007 මාර්තු 17 ශ්‍රී පතිව අත්අඩංගුවට ගනු ලැබුවේ තැපැල් සහ විදුලි සන්දේශ අමාත්‍යාංශයේ වාහනයක් අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනාව මතය. ඔහුව අත්අඩංගුවට ගැනීමේ මූලික අරමුණ එල්.ටී.ටී.ඊ. ගනුදෙනු චෝදනාව යටපත් කොට මංගල සහ ශ්‍රී පතිව නිහඬ කිරීමය.

එකල එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රිවරයකුව සිටි දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් මහින්දගේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ හිරු මාධ්‍ය ජාලය මහින්දගේ ආණ්ඩුව 2007 ඔක්තෝබර් 28 තහනම් කරනු ලැබීය. හිරු මාධ්‍ය ජාලයට අයත් ගුවන් විදුලි නාළිකා 5ක් තහනම් විය. වැරැදි පුවතක් විකාශය කළා යැයි කියා තහනම් කරනු ලැබුවද යටි අරමුණ විපක්ෂයට හිතවත් හිරු මාධ්‍ය ජාලය මෙල්ල කර ගැනීමය. දුමින්ද සිල්වා මහින්දට එක් වීමෙන් පසු හිරු මාධ්‍ය ජාලයට පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබීය.

2007
ඔක්තෝබර් 24 ඇමැතිවරයකුට එරෙහිව වැරැදි පුවතක් වාර්තා කළාය කියා සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ආතර් වාමනන් අත්අඩංගුවට ගනු ලැබීය. හරියටම එයට මාසයකට පසු මහින්දගේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත්පත් මුද්‍රණය කළ මුද්‍රණාලයට මහ රෑ මැරයන් පිරිසක් ගිනි තබන ලදී. එම ගිනි තැබීම සාධාරණීයකරණයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කළ මහින්දගේ ආණ්ඩුව මැරයන් අත්අඩංගුවට ගත්තේ හෝ පරීක්ෂණයක් සිදු කළේ නැත.

2008
උතුරු මැද පළාත් සභා මැතිවරණයට එ.ජා.ප. මහ ඇමැති අපේක්ෂක ලෙස ජානක පෙරේරා ඉදිරිපත් වීම ගැන මහින්දගේ ආණ්ඩුව හිටියේ තරහිනි. ඔහු හිටපු හමුදා ප්‍රධානියෙක් ලෙස එල්.ටී.ටී.ඊ.යෙන් තර්ජන ඇති නිසා තමාට ආරක්ෂාව දෙන්න යැයි ඉල්ලා සිටි විට ඔහුට ආරක්ෂාව දීම මහින්දගේ ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කළේය. අවසානයේ ඔහුට ආරක්ෂාව ඉල්ලා අධිකරණයට යෑමට සිදු විය. ඔහු ඝාතනය වුණේත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන් නිසාය.

2009
ජනවාරි 07 වැනි දින මහින්දගේ ආණ්ඩුවේ වැරැදි විවේචනය කළ සිරස මාධ්‍ය ජාලය නන්නාඳුනන මැර පිරිසක් විසින් ගිනිබත් කරනු ලැබීය. සිරස විකාශනාගාරය ගිනිබත් කොට කරනු ලැබූ පාඩුව මිල කළ නොහැකි විය. මෙම ප්‍රහාරයට පෙර මහින්දගේ පෝ දින බණ සිරසෙන් විකාශය කිරීම නතර කරන්න යැයි දේශප්‍රේමීහු මහින්දගෙන් ඉල්ලා සිටියහ. මහින්ද ඒ ඉල්ලීම ඉටු කළේය. දින දෙක තුනකින් සිරස ගිනිබත් විය.

2009
ජනවාරි 8 ආණ්ඩුවේ ප්‍රධාන විවේචකයකු වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අමු අමුවේ ඝාතනය කරනු ලැබීය. ආණ්ඩුව නිසි පරීක්ෂණයක් කළේ නැත. මහින්දගේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නිදහස් මාධ්‍යයක් සඳහා සටන් කළ මාධ්‍යවේදී පෝද්දල ජයන්තට මැරයන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ 2010දීය. ඒ වගේම 2009 අග වෝටර්ස් එජ් ඉඩම සම්බන්ධයෙන් චන්ද්‍රිකාට නඩු පවරා ඇයව දඩ මුදලකට යටත් කරන ලදී.

2010
ජනාධිපතිවරණයට හිටපු හමුදාපති ෆොන්සේකා ඉදිරිපත් වූ විට මහින්දගේ ආණ්ඩුව ඔහු සමඟ වෛරයෙන් ඔහුගේ ආරක්ෂාව ඉවත් කළේය. 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී ඔහු සිටි හෝටලය වට කොට ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. 2010 ජනාධිපතිවරණය කොල්ලයක් යැයි කියමින් ඔහු රට වටා යද්දී කිසිදු චෝදනාවක් නැතිව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. චෝදනා නොමැතිව අත්අඩංගුවට ගැනීම ඔහු ප්‍රතික්‍ෂේප කළ විට ඔහුට බලෙන් මාංචු දමා බල්ලෙක් සේ ඔහුව ඇදගෙන යනු ලැබීය. ඔහුට නඩු පිට නඩු පවරා ඔහුගේ විශ්‍රාම වැටුපද, ඔහුට හිමි තරු සහ පදක්කම්ද ඔහුට අහිමි කොට ඔහුගේ නම ඉතිහාස පොතෙන් ඉවත් කර දැම්මේය. ඔහුට හිමි මන්ත්‍රි ධුරයද අහිමි කිරීමෙන් නොනැවතී ඔහුගේ නිදහස වෙනුවෙන් සටන් කළ බිරිය අනෝමාට එරෙහිවත් දූෂණ චෝදනා ගොනු කරන්න ඇය සභාපතිව සිටි සේවා වනිතා ඒකකය තුළ විමර්ශනයක් කරනු ලැබීය. ෆොන්සේකාව නිදහස් කරගන්න එ.ජා.ප.ය ඇතුළු පොදු විපක්ෂය කොළඹ සංවිධානය කළ රැස්වීමකට ආණ්ඩුවේ මැරයෝ දමා පහර දුන්හ. විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ වාහන ගල් ගසා කුඩුපට්ටම් කරනු ලැබීය. සමහරුන්ට තුවාලද සිදු විය. පසුව ෆොන්සේකාට සමාව දුන්නේ ප්‍රජා අයිතිය නැතිවය.

2011
නොවැම්බර් 21 වැනි දින මහින්ද අය - වැය ඉදිරිපත් කරන විටදී බාධා කළා යැයි කියා මහින්ද අය - වැය ඉදිරිපත් කරන අතරතුරදීම විපක්ෂ මන්ත්‍රිවරුන්ට වතුර බෝතල්වලින් පහර දෙනු ලැබීය. ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරුන්ට බිම දමාගෙන ආණ්ඩුවේ ඇමැතිවරු පහර දුන්හ. ජයලත් ජයවර්ධන සහ එකල පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සභා ගැබට ඇතුළු වෙද්දී ඔවුන් අතේ තිබුණු ලියකියවිලි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වගේම වරක් ජයලත් ජයවර්ධනට ලොබියේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු වටකරගෙන පහර දුන්හ. එදා එ.ජා.ප. මන්ත්‍රිවරුන්ට ජ.වි.පෙ. මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුව තුළ උද්ඝෝෂණ කිරීම මැර බලය යොදවා සභා ගැබේදීම තහනම් කළේ එලෙසය. බැරි වෙලාවත් 19 සම්මත කිරීමට පෙර සතියේ වගේ එදා එ.ජා.ප. මන්ත්‍රිවරුන් මහ රෑ පාර්ලිමේන්තු සභා ගැබේ නිදියගෙන ජෝගි නැටුවා නම් වෙන්න තිබුණේ කුමක්දැයි සිතා ගත නොහැකිය.

බැසිල්ගේ දිවි නැඟුම පනතට එරෙහිව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තීන්දුවක් දුන්නාය කියා ආණ්ඩුව ඇයට එරෙහිව බොරු චෝදනා ගොනු කොට දෝෂාභියෝගයක් ගෙන එනු ලැබීය. දෝෂාභියෝග තේරීම් කාරක සභාවේදී ඇයට පරුෂ වචනවලින් බනිනු ලැබීය. දෝෂාභියෝග ක්‍රියාවලිය නීති විරෝධී යැයි අධිකරණය කියද්දී ඇයව බය කොට, තර්ජන එල්ල කොට අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරනු ලැබීය. ඇයට අලුත්කඩේ නිල කාර්යාලයට ගොස් ඇයගේ බඩු භාණ්ඩ රැගෙන යෑමටවත් ඉඩ නොදී අධිකරණ භූමියේ ආරක්ෂක දැලක් එළීය. එයින් විනිසුරුවන්ද බියට පත් කරනු ලැබීය. දෝෂාභියෝගයට එරෙහිව සටන් කළ විජේදාස රාජපක්ෂගේ නිවෙසට බෝම්බ ගසනු ලැබීය. ඇය වෙනුවෙන් සටන් කළ නීතිඥ වන්නිනායකට මරණ තර්ජන එල්ල කරනු ලැබීය. ඇයගේ විශ්‍රාම වැටුපද ඇයට අහිමි කොට දෝෂාභියෝගය සම්මත වූ දිනයේ ඇයගේ නිල නිවෙස ඉදිරිපිට ඇමැතිවරු රැස්වී කිරිබත් කා ඇයට පරුෂ වචනයෙන් බැනවදිමින් රතිඤ්ඤා පත්තු කළහ.
අගවිනිසුරු ධුරය අහිමි කළ පසු ඇයව සතියකට වතාවක්වත් අල්ලස් කොමිසමට ගෙන්වීය. එලෙස ගෙන්වූයේ සමහර දිනවල ඇයගේ උපන් දිනය දවසේය. තවත් සමහර දිනවල ඇයගේ පුතා විභාගවලට යන දිනය වැනි ඇයගේ පවුලට තීරණාත්මක දිනවලය.
ඉන්පසු හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ නිරීක්ෂණයට ගිය එ.ජා.ප. මන්ත්‍රිවරුන්ට මැර ප්‍රහාර එල්ල කරනු ලැබීය. වරාය අධිකාරියට අයත් කාර්යාලයකට ගිය මන්ත්‍රිවරුන්ටත් මැර ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ඒ වගේම ජාතිවාදී ප්‍රකාශ කළා කියා අසාද් සාලි පළාත් සභා මන්ත්‍රිව අත්අඩංගුවට ගනු ලැබීය. මහින්ද විපක්‍ෂයේ චෝදනා තිබෙන මන්ත්‍රිවරුන්ව අත්අඩංගුවට ගත්තේ නැත. ඔවුන්ට එරෙහිව චෝදනා තියෙන ෆයිල් ජනාධිපති මන්දිරයට ගෙන්වා ගෙන ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කරලා ආණ්ඩුවට එක්කරගෙන විපක්‍ෂය දුර්වල කළේය. 2007 ඔහු එ.ජා.ප.යෙන් ගත් මන්ත්‍රි 17න් බොහොමයකටද, 2011දී 18 වැනි ව්‍යවස්ථාව සම්මත කරගන්න තුනෙන් දෙක හදා ගන්න එජාපයෙන් ගත් සමහර මන්ත්‍රිවරුන්ටද විවිධ චෝදනා එල්ල වී තිබිණි. මහින්ද ඒ චෝදනා පෙන්වා බය කරල ඔවුන්ව ආණ්ඩුවට ගත්තේය. මෙවර ජනාධිපතිවරණයේදීත් ඔහු කිව්වේ ආණ්ඩුවෙන් යන ඇමැතිවරුන්, ඉන්න ඇමැතිවරුන් ගැන ෆයිල් තමන් ළඟ ඇති බවය. ඔහු ඒ ෆයිල්වලින් ඇමැතිවරු බය කරගෙන තියා ගත්තේය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව කරන්නේ එම ෆයිල් පොලිසියට සහ අධිකරණයට භාර දීමය. පළිගැනීමේ වෙනස ඒකය.

මෛත්‍රිපාල සිරිසේන පහුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වූ විගස මහින්දගේ ආණ්ඩුව මෛත්‍රිපාලගේ සහෝදරයකු වූ කුමාරසිංහ සිරිසේන සේවය කළ රාජ්‍ය දැව සංස්ථාවට සීල් තබනු ලැබීය. ඔහු එහි කළමනාකාර අධ්‍යක්ෂ විය. දින දෙකකට පසු ඔහුව සේවයෙන් ඉවත් කළ බව දන්වමින් දැව සංස්ථා සභාපතිගෙන් ඔහුට ලිපියක් ලැබිණි. එසේම මෛත්‍රිගේ සහෝදරයන්ගේ ව්‍යාපාරවලටද බාධා කරනු ලැබීය.

මෛත්‍රි ජනාධිපතිවරණය දිනල රටටම ඇහෙන්න කීවේ තමන් පරාජය වූවා නම් තමන් අද ඉන්නේ පොළොවෙන් අඩි 6ක් යට වළක කියාය. මහින්ද 2010 ජනාධිපතිවරණය දිනල කීවේ ෆොන්සේකා දින්නා නම් තමන් සහ මල්ලි ගෝඨා හිරේ කියාය. එහෙම කියල ඔහු ෆොන්සේකාවයි, ඔහුගේ ආධාරකරුවන්වයි හිරේට දැම්මේය. හැබැයි මෛත්‍රි අද වන තෙක් මහින්දට අත තියලා නැත. පළිගැනීමේ වෙනස ඒකය.

මහින්දගේ ආණ්ඩුව පන්න පන්නා පළිගත් කිසිවකුටත් අධිකරණයෙන් ජයග්‍රහණයක් හිමි නොවීය. හොඳම නිදසුන ෆොන්සේකාය. චෝදනා නොමැතිව අත්අඩංගුවට ගෙන නඩු පිට නඩු පටවපු ෆොන්සේකා අධිකරණය ඉදිරියට ගියත් ඔහුට පක්ෂව තීන්දු ලැබුණේ නැත. එදා ෆොන්සේකා වෙනුවෙන් කතා කළේ කීර්තිමත් නීතිඥ රොමේෂ් සිල්වාය. අද ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම වළක්වන නඩුවට කතා කරන්නේත් රොමේෂ් සිල්වා නම් වූ ඒ කීර්තිමත් නීතිඥයාය. එදා ඔහුට ෆොන්සේකාව නිදහස් කරගන්න බැරි වුණත් අද ඔහුට ගෝඨාභයව අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝගයක් අධිකරණයෙන් ගන්න පුළුවන් වී ඇත. මහින්දගේ කාලයේ පළිගැනීම් සහ මෛත්‍රි-රනිල්ගේ ආණ්ඩුවේ පළිගැනීම් අතර ලොකුම වෙනස ඒකය.


No comments:

Post a Comment