Wednesday, November 26, 2014

පොලිසිය හොල්මන් අලුත් ලොක්‌කෙක්‌ පොලිසියේ පාලනය උදුරාගෙන !

හේමන්ත රන්දුණු

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පොලිස්‌ දෙපාර්තමේන්තුව මුළුමනින්ම පාලනය කිරීමට කටයුතු කරමින් සිටීම නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුව අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත.

දේශපාලන අවශ්‍යතා මත පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මුළුමනින්ම වෙනස්‌ කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කටයුතු කරමින් සිටීම නිසා පොලිසිය තුළ මෙම අවුල් සහගත තත්ත්වය උද්ගතවී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පවසයි.

පොලිස්‌පතිවරයා විසින් ඉතාම ක්‍රමානුකූලව සිදු කරනු ලැබූ පොලිස්‌ මාරුවීම්, උසස්‌වීම් පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු ටෙන්ඩර් ගැනීම්, ඇතුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ බහුතරයක්‌ පරිපාලන කටයුතු මේ වනවිට මෙම නිලධාරියා සියතට ගෙන සිටින බවද වාර්තා වෙයි.

මෙම උසස්‌ නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා දැඩි කලකිරීමට පත්ව සිටින විනයගරුක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් රැසක්‌ කල්තියාම සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් සිටින බවද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි.

පොලිස්‌පතිවරයා විසින් සම්මුඛ පරික්‍ෂණ පවත්වා තෝරාගත් දක්‍ෂ නිලධාරීන් පොලිස්‌ ස්‌ථානාධිපති තනතුරු සඳහා පත්කර තිබිණි.

එහෙත් මෙම උසස්‌ නිලධාරියා පත්වීමෙන් පසු සුදුසුකම් මත තනතුරු ලැබූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් රැසක්‌ වහාම ඉවත් කර ඒ සඳහා වෙනත් නිලධාරීන් පත්කරනු ලැබීය.

එසේ පොලිස්‌ ස්‌ථානාධිපති ධුර සඳහා පත්කළ බහුතරයක්‌ නිලධාරීන් විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බවද වාර්තා වෙයි.

පොලිස්‌ දෙපාර්තමේන්තුවට උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් ලබාදීම පොලිස්‌පතිවරයා විසින් ඉතාම විනිවිද භාවයෙන් සිදුකර තිබිණි. එහෙත් මේ වනවිට මෙම උසස්‌ නිලධාරියා පොලිස්‌ ටෙන්ඩර්වලටද ඇඟිලි ගසමින් ඒවා විවිධ දූෂිතයන්ට ලබාදීමට උත්සාහ කරන බවද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වී එය කඩාවැටීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් කියා සිටිති..

අප කළ විමසීමකදී එම පොලිස්‌ නිලධාරීන් පැවසුවේ පොලිස්‌ දෙපාර්තමේන්තුව ඉබෝලා වසංගතයට ගොදුරු වෙමින් තිබෙන බවයි.

No comments:

Post a Comment