Tuesday, March 10, 2015

උෟරු මස්-කකුළුවෝ-පරා ඔළු එක්ක මහ සඟරුවනට දුන් උපන්දින දානය ගැන සිරි සමන්තභද්‍ර හිමියෝ කතා කරති

මව්බිම පුවත් පතේ අනුග්‍රහයෙනි

පසුගියදා දෙහිවල සිරිසදහම් ආශ්‍රමයේ පැවැති සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ 40 වැනි උපන්දින සාදය පිළිබඳ මාධ්‍ය මඟින් වාර්තා කොට තිබූ අතර අප 'මව්බිම' පුවත්පත හරහාද ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පළ කෙරිණි. කෙසේ වෙතත් මාධ්‍ය මඟින් කළ මෙම අනාවරණය පිළිබඳ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ තම ආශ්‍රමයේ පැවැති පෝදා ධර්ම දේශනයේදී ආන්දෝලනාත්මක අදහස් කිහිපයක් පළ කළහ. මේ පළවන්නේ එම ධර්ම දේශනාවය.

දැන් පසුගිය දවස්වල අපි ලොකු පින්කමක් කළා. හැමදාම ඔය පින්කම් කරනකොට ඉතින් මොනව හරි වෙනවනෙ. අපි දන්නව ඉතින් ඕකටත් මොනව හරි කියයි කියලා. ඉතින් ආන්දෝලනාත්මක දේ වෙන්න ඕනනෙ. එතකොට හොඳයිනෙ. නැත්නම් කිසි ගතියක් නෑ. වටිනාකමකුත් නෑ. හරියට ඒක මුහුදට ලුණු දැම්ම වගේ වැඩකට නැති දෙයක් වෙනවා. ඉතින් ගිය පාරත් මේ 'මව්බිම' පත්තරකාරයා දාල තිබුණා මෙහෙ උපන්දින පාටියක් තිබුණා කියලා. මේ පාරත් දාලා. මොකද ඔය 'මව්බිම' පත්තරේ අයිතිකාරයවත්, කර්තෘ මණ්ඩලයෙ අයවත්, ඕකෙ වැඩකරන කවුරුවත් කවදාවත් පාටියකට ගිහිල්ලත් නෑ. පින්කමකට ගිහිල්ලත් නෑ.

මම හිතන්නෙ හුඹහක තමයි ඒ මිනිස්සු ජීවත් වෙන්නේ. මොකක් හරි බොරුවක් කියල අවුස්සනවා. ඕව දැකලා මේ මගෙන් එක එක අය ඒ මොකක්ද කියලා අහන හින්ද තමයි මම මේ ඒ ගැන දිග අරින්නෙ. මේ අය තේරුම් ගන්න ඕන සත්‍යාවබෝධ කළ මුනිවරයකුට පහර දෙන්න, පහරදෙන්න ඒ උතුමා පිරිසුදු වෙනවා කියලා. ඒකත් හරියට කළුවෙච්ච රිදී කෑල්ලක් ගොරකයි, ගඩොල් කුඩුයි දාල අතුල්ලන කොට පිරිසුදුවට දිලිසෙනව වගේ තමයි.


මට ඕන වුණා මේ දානෙට 150ක් 200ක් විතර භික්ෂුන් වහන්සේ වඩම්මවන්න. මොකද මට ඕන වුණා උන්වහන්සේට පෙන්නන්න මේ මීඩියාකාරයෝ කරන බොරුව කොච්චරද කියලා. මම ඒක කළා. ඒ විතරක් නෙවෙයි මම දිනුම්. දැන් ඒ ඔක්කොම හාමුදුරුවරු කියනවා ඔබ වහන්සේට මෙච්චරකල් කියපුව බොරු කියල අපිට තේරෙනවා කියලා. ඒත් ඉතින් ඔතනට ආපු නැති අය ඕක දන්නෙ නෑ. මේ දේවල් මිනිස්සු තේරුම් ගන්න ඕන. දැන් මේ ජාතිය වඳ පීදවන කණ්ඩායම් 2ක් ඉන්නවා. එකක් මේ හාමුදුරුවරු ටික. හැමෝම නෙවෙයි. කිසි වග විභාගයක්, සොයා බැලීමක් නැතුව මෝඩ අදහස් දක්වන පිරිස. අනෙක් අය තමයි මේ පත්තරකාරයො ටික. වෙලා තියන්නේ මේ අය මෝඩයි. දැන් එක පත්තරකාරයෙක් කිව්වලු මම බටේකින් බීම බිව්ව කියලා. මම කිව්වා මේ දානෙදි මම බීම බටෙන් බිව්ව තමයි.

ඉතින් අප මහා බෝසතාණන් වහන්සේ නළපාන ජාතකයේදී වඳුරු නායකයකුව සිටියදී බීම බටයක් සොයාගත නොහැකිව උණ බටයකින් ජලය පානය කළ සේක. එසේම මාත් කළා කියලා. අපරාදෙ ඉතින් අපිට උණ බට හොයා ගන්න බැරි වුණා. මුන් ගෙවල් හදල සේරම ඉවර කරලනෙ. ඉතින් ඒකයි අපි බීම බට ගත්තෙ. නැත්තන් අපිත් උණ බට තමයි තියන්නෙ. මේ වෙලා තියෙන්නෙ පත්තරකාරයොයි, හාමුදුරුවොයි, දේශපාලනඥයොයි මිනිස්සුන්ට හිතන්න දෙන්නේ නෑ. මුන් ජාතියත් විනාශ කරනවා. මේකට විරුද්ධව තමයි මේ මම වැඩකළේ. මේ දානෙන් පෙන්නුවෙත් ඒක. මම මේකට විරුද්ධව සටන් කරනවා. මම දැන් යන්න ඕන තැනට ආධ්‍යාත්මයෙන් ගිහින් ඉන්නෙ.

ඒ නිසා හිටියත් එකයි, මැරුණත් එකයි. ඒ නිසා මම මේ ගැන සටන් කරල ජාතිය නැඟිට්ටවනවා. එංගලන්තෙ හිටපු කවුරුවත් කියපුව අහන්නෙ නැතුව පල්ලියේ ආක්‍රමණ බිඳගෙන අදහස් දක්වල එංගලන්තය හිරු නොබසින අධිරාජ්‍ය කිරීමේ ගෞරවය හිමිකරගත්තා. ඒ වගේ යම් දවසක ලංකාව අවදි කිරීමේ ගෞරවය හිමිවෙන්නෙ මට. ඒක කාටත් පිළිගන්න වෙනව.


ඔය පත්තරකාරයො සැවැත්නුවර ජේතවනාරාමයට ගියානම් බුදුන් වැඩසිටි කුටියෙ බිමට සඳුන් ලී අල්ලල තියෙනව දැකල කියයි අනාථපිණ්ඩිකස්ස කියල කෙනෙක් සැවැත්නුවර ජේතවනාරාමය කියලා තරුපහේ හෝටලයක් බුදුන්ට හදල දීල තියෙනවා කියලා. මගේ කුටියටත් අල්ලල තියෙන්නෙ කුඹුක් ලී. මම එහෙම කළේ ලංකාවෙ සඳුන් ලී නැති නිසයි. ඒ විතරක් නෙවෙයි මුන් තට්ටු ගාණක් උස පූර්වාරාමය දැක්කනම් කියයි විශාඛාව කියලා මහෝපාසිකාවක් බුදුරජාණන් වහන්සේට හෝලයක් හදල දීල කියල නවාතැන් ගන්න. වැරැදිලවත් සත් සතිය ගත කරද්දි බුදු හාමුදුරුවො රුවන්ගෙයි වැඩසිටිනව අද ඉන්න පත්තරකාරයො දැක්කනම් කියයි මෙන්න බුදුහාමුදුරුවො මඟුල් පෝරුවක් හදාගෙන, ඒකෙ ඇතුළට වෙලා ඉන්නව කියල. මේ අය මෝඩයි. මේ මහ මෝඩ ජාතියක්. බටයකින් බිව්ව කියල දානෙ විවේචනය කරනවනම් තව මොකක්ද ඉතින්. බෝසතාණන් වහන්සේට උණ බටයකින් බොන්න හොඳ නම් මම ප්ලාස්ටික් බීම බටයකින් බිව්වාම මොකද වෙන්නෙ. පින්කමක් කරනව නම් හරියට කරන්න ඕන. මම කළේ හරි විදියට පින්කමක්.


කොසොල් රජ්ජුරුවොත් අසදෘශ මහා දානයක් දුන්නා. ඒකෙ 500ක් නමකට ආසන පනවල එක ආසනයකට පවන්සලන්නන් 2ක් ගාණෙ දාල තිබුණ. ඒ විදියට සුව පහසුවටයි දුන්නෙ. අපිත් ලබන අවුරුද්දෙ අසදෘශ මහා දානයක් දෙමු. රත්නාවලියෙ, පූජාවලියෙ අසදෘශ දානෙ ගැන තියෙන විස්තර කියවල බලල අපි මීටත් වඩා හොඳට එකක් දෙමුකො. හැබැයි මට අලි බාස් කෙනෙක් වෙන්න නම් බෑ. ඒ නිසා එකක් බැරි වෙනවා. ඒකට අලි ගේන්න නම් වෙන්නෙ නැහැ. මේ පාර වගේම ධනවත් දායකයො අපිට හැමදේම කරල දෙයි. එහෙම කරල අපි ජාතියට පෙන්වමු "මෙන්න මෙහෙමයි සත්‍ය අවබෝධ කළ මුනිවරයෙක්ගෙ විදිහ" කියල. සත්‍ය අවබෝධ කළ උත්තමයන් සියලු සම්පතින් ආඪ්‍ය වෙනවා. එහෙම උතුමකුට විපාක දෙන්නෙ පින්. ඇයි ඒ? ඒ තමයි උන්වහන්සේගෙ අවසන් ආත්මය. ඒ නිසයි අන්තිම ආත්මෙ සියලු පින් භුක්ති විඳලයි පිරිවාන ධාතුව වැලඳගන්නෙ. ඒක කාටවත් වළක්වන්න බෑ. එච්චරයි.


මෙතන තියෙන දාන එකකටවත් මේකටම කියල සත්තු මරන්නෙ නෑ. හොරෙන් කනවට වඩා අපි කළේ ප්‍රසිද්ධියෙ කාපු එක. අපි හැමෝටම කියල තියෙනවා මෙතැන දානෙට කියල සත්තු මරන්න එපා කියලා. මරල තියෙන තැනකින් ගෙනත් උයල දුන්නට කමක් නෑ. අනෙක තමයි ජෛන ආගම නෙවෙයිනෙ මේක. සුව පහසුවට ඉතා ඉහළින් දානයක් දුන්න කියල පාවඩ මත ඇවිද්ද කියල බුදු දහම විනාශ වෙන්නේ නෑ. ඒ දේවල් තහනම් නෑ. මෙතැන වෙලා තියෙන්නේ මොකක් හරි බොරුවක් කියලා නැති එකක් මවන එක. වැරැද්ද තමයි ලංකාවෙ පත්තර මත්තෙ යැපෙන පිරිසකුත් ඉන්නවනෙ. මම නම් පත්තර කියවන්නෙ නෑ. මොකද මගෙ ගැන කියන බොරුවලින්ම මම දන්නවා මුන් කොච්චර බොරුද කියන්නෙ කියලා. ඥානවන්ත තරුණයො ඕව පිළිගන්නෙ නෑ. සමහරු අහනවා, ඔබ වහන්සේට හිටිය කියපු ළමයි හිටියනම් දැන් මොන්ටිසෝරියක් දාන්න තිබුණා, හිටිය කියපු ගෑනු හිටියනම් ඒජන්සියක් දාන්න තිබුණා කියලා. කාලෙන් කාලෙට මල් පිපෙනවා වගේ එක එක ඒවා වෙනවා. මම යමක් කළානම් බුද්ධ ප්‍රඥප්තිය අනුවයි කළේ. මේ දානෙත් බුද්ධ ප්‍රඥප්තියට අනුකූලයි.


පින්කමක් කරනකොට දන්න හොඳම විදියට කරන්න ඕන. බුදු සසුනෙත් එහෙම ලෝබකම් කරන්න ගිහින් මිටි වෙලා ඉපදුණු රහතන් වහන්සේ නමක් හිටියා ලකුන්ඨක බද්ධිය කියලා. සමහරු කියනවා මෙතැන දානෙ සුවඳ පාරට ආව කියලා. මේ මහ මෝඩ ජාතියක්. ඉස්සරත් තකරසිඛී පසේ බුදුන්ට මෙච්චර හොඳට දානෙ හදන්නෙ මොකද, මුඩු මහණුන්ට මේ දේවල් ඕන නෑ කියලා ප්‍රේත ලෝකෙ 'යව' වළඳමින් ඉන්න වෙච්ච සිද්ධිත් අපි අහල තියෙනවා. ඔය පත්තරකාරයන්ටත් ඒ වගේ තමයි. ඒ අයත් ප්‍රේත ලෝකෙ යව වළඳනව බලන්න පුළුවන්. මොකද මේ කරන්නෙ කෑමට ඉරිසියා කරන එකනෙ. හැමදාම වුණේ මේව දාන්න ගිහින් හොම්බ කඩා ගත්ත එක. අදත් වුණේ ඒක. මේ උපන්දිනයට මම පින්කමක් කළා. සමහරු ඒක පාටියක් කියලා මෝඩ කතා කිව්වා.


ඉතින් මට කියන්න තියෙන්නෙ බුදු සසුනෙ කියල තියෙන මිනී මස්, ව්‍යාඝ්‍ර, සිංහ, බලු මස් වගේ මස් ජාති 10ක් අකැපැයි කියල විතරයි. මේ දානෙට දීපුව කන්න හොඳ නෑ කියලා නෑ. මේ දානෙ ගැනත් මට කියන්න තියෙන්නෙ මා ඕ සේතුං කියපු කතාවමයි. එයා කිව්වෙ, මිනිස්සු මට බනින තරමට මම කරපුවයෙ වටිනාකම සහ ඒක කොච්චර සාර්ථකද කියලා දැනෙනවා කියලා. මාත් ඒ දේ හිතනවා. මේක අපි පටන් ගත්ත විතරයි. අපි මේ ජාතිය නැඟිටුවනවා. ඒකෙ පියා වෙන්නෙ මම. ලබන අවුරුද්දෙත් මීට වඩා හොඳට මේ පින්කම අපි කරනවා. ඒව කාටවත් නවත්වන්න බෑ.

2 comments:

  1. “එන්න එන්න පුළුවන්නම් මට අභියෝගකරන්න මමයි පොර..මම තරම් කවුරුවත් ධර්මය දන්නේ නැහැ..මේලෝකේ ධර්ම ඥානයෙන් අංක එක මමයි... ඔන කෙනෙක් ඇවිත් මාත් එකක් තරක කරන්න.. සෝමා එදිරිසිංහ මවා පරික්ෂාකරල පිළිගත්තා...“ උමතකයෙකුගේ විලාපයක් විනා ධර්මය පිළිබඳ කිසිවක් නැහැ.... උම්මතකයෙක් හා තරක කර ජගතහැකි උන්මත්ක නොවන කිසිවෙක් මෙලොව නැති බව සෑබෑය...

    ReplyDelete
  2. “එන්න එන්න පුළුවන්නම් මට අභියෝගකරන්න මමයි පොර..මම තරම් කවුරුවත් ධර්මය දන්නේ නැහැ..මේලෝකේ ධර්ම ඥානයෙන් අංක එක මමයි... ඔන කෙනෙක් ඇවිත් මාත් එකක් තරක කරන්න.. සෝමා එදිරිසිංහ මවා පරික්ෂාකරල පිළිගත්තා...“ උමතකයෙකුගේ විලාපයක් විනා ධර්මය පිළිබඳ කිසිවක් නැහැ.... උම්මතකයෙක් හා තරක කර ජගතහැකි උන්මත්ක නොවන කිසිවෙක් මෙලොව නැති බව සෑබෑය...

    ReplyDelete