Saturday, January 3, 2015

මුතුහෙට්ටිගම වැනි වසල තිරිසනෙක් නිර්මාණය කිරීමේ වගකීම සුසිල් ප්‍රේම්ජයන්තගේ -හිටපු මැකෝගේ ලිපියකින් තහවුරු වෙයි

(ලංකා ඊ නිව්ස් -2015.ජන.04, පෙ.ව.6.00) 
වර්තමානයේ වසල තිරිසනෙක් මෙන් හැසිරෙන නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා, අශීලාචාර පුද්ගලයෙක් යැයිද, ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් නොගත හොත් මැතිවරණ දෙපාර්තමේන්තුව රැකගෙන ආ ස්වාධීනත්වය අහිමි වනු ඇතැයි අනතුරු අඟවමින් ඔහු සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නැයි 2009 හෙවත් මීට වසර 5 කට පෙර පවා එවක සිටි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහලේකම් වරයාට ලිඛිතව දන්වා සිටියද ඔහු මේ දක්වා කිසිදු පියවරක් නොගත් නිසා අද රිමාන්ඩ් භාරයේ සිටින වැරදි කරුවන් පවා රැගෙන යන තරමට මුතුහෙට්ටිගම තිරිසනෙක් වී ඇති බව තහවුරු වේ.

මේ බව තහවුරු වන්නේ 2009 10 13 වැනිදා එවක මැතිවරණ කොමසාරිස් වරයා සුසිල් ප්‍රෙම්ජයන්ත්ට යැවූ ලිපිය මගිනි. අද බුද්ධ පූජාව මෙන් කතාකරන සුසිල් ප්‍රේම්ජයන්ත මේ දුශ්චරිත පංචස්කන්ධ දේශපාලනයේ තබා ගැනීමට ඍජුවම වගකිව යුත්තෙක් බව මෙයින් මොනවට පැහැදිලි වේ.

හිටපු මැතිවරණ කොමසාරිස් සුසිල් ප්‍රේම්ජයන්ත්ට බරපතල වදන් භාවිතා කරමින් යැවූ ලිපිය සම්පුර්ණයෙන් පහත දැක්වේ.

2009 -10 -13
මගේ අංකය -PCE /2009/SP/39

සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා,
ලේකම්,
එක්සත් ජනතා නිදහස් සංධානය.

මහත්මයාණනි,

දකුණු පළාතේ පළාත් සභා ඡුන්ද විමසීම -2009.10.10
සභික, නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ
පිළිගත් ආචාර ධර්ම වලට පටහැනි ක‍්‍රියාකලාපය.

1)
ඔබ පක්ෂය යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයට තරඟ කළ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඡන්ද විමසීමට පෙර ගාල්ල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරී ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කරමින් දෝෂාරෝපනය කර ඇති අතර, ඡන්ද විමසීමෙන් පසුව ද තේරීම්භාර නිලධාරී අශෝක ජයසේකර මහතාට මරණීය තර්ජන එල්ල කරමින් දුරකථනයෙන් බැන වැදී ඇත.

2) 2009.09.28
වැනි දින ගාල්ල දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා තම කාර්ය මණ්ඩලයද සමඟ ඡන්ද පත‍්‍රිකා පරීක්ෂාවෙහි යෙදී සිටියදී මුතුහෙට්ටිගම මහතා විශාල පිරිසක් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදී දිස්ත‍්‍රික් ලේකම් වරයාටත්, දිස්ත‍්‍රික් ජ්‍යෙෂ්ඨ සහකාර මැතිවරණ කොමසාරිස්වරයටත් හේතුවක් නොමැතිව මරණීය තර්ජන එල්ල කරමින් බැන වැදී ඇත. අනතුරුව ඡන්ද විමසීමෙන් පසු 2009.10.11 වැනි දින පෙරවරුවේ තමාගේ මනාප ප‍්‍රතිඵලය තේරීම්භාර නිලධාරීගේ අනු දැනුම ඇතිව වෙනස් කර ඇති බවක් ප‍්‍රකාශ කරමින් දිස්ත‍්‍රික් ලේකම් වරයාට ඉතා පහත් ආකාරයෙන් චෝදනා එල්ල කරමින් දුරකථනයෙන් බැන වැදී ඇත. ඔක්තෝබර් 12 වැනි දින රාත‍්‍රී රූපවාහිනී නාලිකා දෙකක් මඟින් ගාල්ල තේරීම්භාර නිලධාරීවරයා නිර්දය ලෙස ඉතා පහත් අන්දමින් විවේචනය කරමින් තර්ජනය කිරීමක්ද කර ඇත. ඊට අමතරව මැතිවරණ ප‍්‍රතිඵලයට විරෝධය දක්වමින් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දින දහවල් 12.00 ට පිකට් කිරීමක් කරන බවද පවසා ඇත.

3)
පළාත් සභා ඡන්ද විමසීම් පනත අනුව ඡන්ද හා මනාප ගණන් කරන අවස්ථාවේ ගණන් කිරීමේ ශාලාවේ ප‍්‍රතිඵලය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් නියෝජිතයින් මගින් නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටිය හැකි අතර, ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමෙන් පසුව ප‍්‍රතිඵල නැවත සලකා බලන ලෙස අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. එසේ තිබියදී පිකට් කිරීම, මැතිවරණ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ දක්නට නොලැබුණු අවිධිමත්වූත්, අශිලාචාරවූත් ක‍්‍රියා පිළිවෙතකි.

4)
එබැවින් මෙම විනය විරෝධී හැසිරීම පිළිබඳ පක්ෂය විසින් මුතුහෙට්ටිගම මහතා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර කඩිනමින් නොගත හොත් ඉදිරි මැතිවරණ වලදී යම් යම් පක්ෂ සහ කණ්ඩායම් මෙම සිද්ධිය පූර්වාදර්ශ කර ගැනීමට පෙළඹෙනු ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණ දෙපාර්තමේන්තුව රැකගෙන ආ ස්වාධීනත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවට අහිමි කිරීම සඳහා ඉඩකඩ සැලසීමක් වනු ඇත. තවද මේ පිළිබඳ ඔබ පක්ෂය වගකීමෙන් ක‍්‍රියා කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.

මෙයට විශ්වාසී
දයානන්ද දිශානායක
මැතිවරණ කොමසාරිස්

No comments:

Post a Comment