Monday, December 22, 2014

වඳුරඹින් පොලිසියට පණිවුඩයක්

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ආධාර පිණිස බද්දේගම වඳුරඹ සංවිධානය කෙරුණ විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට පහර දී ගිනි තැබීමේ සිද්ධිය අද සඳුදා (22) තවත් මුහුණු වරක් ගනු ලැබුණි.
එවැනි තත්වයක් උද්ගත වූයේ වඳුරඹ පොලිස් ස්ථානාධිපති පදවියේ කටයුතු කළ පනංගල ලියනගේ කීර්ති සිංහ තමාට එල්ල කෙරුණ දේශපාලන පීඩනය හමුවේ සිය නිල ඇඳුම් භාර දී පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.
වඳුරඹ විපක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට පහර දීම හමුවේ නීතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් පැහැර ගනු ලැබීමයි පොලිස් ස්ථානාධිපති වරයාගේ ඉල්ලා අස්වීමට හේතු වුනේ.
සේවයෙන් ඉවත් වූ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිවසේ දී මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින්, අද නීතිගරුක පොලිස් නිලධාරීන්ට එල්ල කෙරෙන දේශපාලන සහ විවිධ බලපෑම් සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළ බව මාධ්‍යවේදී සනත් පතිරණ බීබීසී සංදේශයට වාර්තා කළේය.

‘පිහියට නඩු දැමීම’

වඳුරඹ රැස්වීම් භූමියේ ගිනි තැබීමට අවශ්‍ය සැකකරුවන් තුන් දෙනා තමාගේ අත්අඩංගුවේ සිටියදී ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් පැහැර ගන්නා ලද බවත්, දැන් තමා මුහුණ දී ඇති තත්වය ‘කෙසෙල් කැනක් කපා ගත් සොරකු අල්ලා ගත් අවස්ථාවක සොරාට නොව පිහියට එරෙහිව නඩු දැමීමට සමාන තත්වයක්’ වන බවත් පොලිස් පරීක්‍ෂක පනංගල ලියනගේ කීර්ති සිංහ පවසයි.
වසර දහඅටක් පොලිස් සේවයේ කටයුතු කර ඇති තමා එම මෙහෙයට ආශා කරන අතර අනාගතයේ දිනක බලපෑම් වලින් තොරව සේවය කිරීමට අවස්ථාවක් ලැබුනොත් පමණක් යළිත් ඊට එක් වෙන බවයි, වඳුරඹ හිටපු පොලිස් ස්ථානාධිපති පනංගල ලියනගේ කීර්ති සිංහ කියා සිටියේ.

No comments:

Post a Comment