මව්බිම කතුවැකිය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ
මහ කොමසාරිස් සෙයිද් රඅද් අල් හුසේන් කුමරු දිවයිනට පැමිණියේ ඉකුත් සතියේය.
කොමසාරිස්වරයාගේ පැමිණීමට එරෙහිව දකුණේදීමෙන් කොළඹදීත් සිංහල ජාතිකවාදීන් හා
අන්තවාදීන් විරෝධතා දැක්වූ අතර අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණයට යාපනේදී
මුහුණදීමට කොමසාරිස්වරයාට සිදුවිය.
මීට පෙර මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්
ධුරය දැරූ නවනීදන් පිල්ලේ 2013දී මෙරටට පැමිණි අතර දැඩි විරෝධයක් ඇයට
එල්ල විය. එහෙත් එවැනි ආකාරයේ විරෝධයක් හුසේන් කුමරුට එල්ල වූයේ නැත. තෙවැනි ඊළාම්
යුද්ධය ඇවිළෙමින් තිබූ 2008 වසරේ එවකට කොමසාරිස් ධුරය හෙබවූ
ලුයිස් ආබොර්ද දිවයිනට පැමිණියේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින්
ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද සිවු වැනි යෝජනාවට රජය එකඟතාව ලබාදී ඇති පසුබිමක
මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණීම විශේෂත්වයකි.
මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත්
ජාතීන්ගේ සංවිධානයේ සිටින වඩාත් උසස් හා ප්‍රමුඛතම නිලධාරිවරයා වූ මානව හිමිකම්
පිළිබඳ කොමසාරිස්වරයා හමුවේ විරෝධතා පුවරු ඇල්ලීමෙන් රටට සිදුවන සෙතක් නැත.
නවනීදන් පිල්ලෙයි මහත්මිය ඇමැතියකු ලවා අශිෂ්ට ලෙස අපහාසයට ලක් කිරීමෙන් හානි සිදු
වූයේ ඇයට නොව රටටය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන් පසුබෑවේ නැත. මානව හිමිකම්
කවුන්සිලය සිය යෝජනා හකුළා ගත්තේද නැත. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා සහ
ජිනීවා හි පිහිටුවා ඇති මානව හිමිකම් කවුන්සිලය හෙවත් මානව හිමිකම් පාර්ලිමේන්තුව
එකට පටලවා ගත යුතු නැත. මේ ආයතන දෙකකි. එහෙත් මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන්
සිටින්නේ එක තැනකය. තෙලෙන් බැද්දත්, කිරෙන්
ඉව්වත් කොබෙයියා කොබෙයියාමය. අප ඒ යථාර්ථය අවබෝධ කරගත යුතුව ඇත.
සිංහල හා දෙමළ අන්තවාදීන්, ඊනියා ජාතිකවාදීන් කුමක් පැවසුවද යුද්ධයේ
සිදුවීම් සම්බන්ධයෙන් පශ්චාත් යුද සමයේ "රාජපක්‍ෂ ආණ්ඩුව" කටයුතු කළ
ආකාරය දෝෂ සහගතය. එනිසා මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානය
සමඟ එක්වී බලවත් විදේශ රටවල් නැඟූ ඇතැම් චෝදනා පදනම් රහිත යැයි කිව නොහැකිය.
"මානුෂික" මෙහෙයුමක් කළ නිසා කිසිදු මානව හිමිකම් කඩවීමක් සිදු වූයේ
නැතැයි කීම හාස්‍යයට කාරණයකි. මානව හිමිකම් උල්ලංඝනය කෙරුණු ප්‍රධාන සිදුවීම් 17ක් සම්බන්ධයෙන් විභාග කිරීමට ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ විසින් 2006දී කොමිසමක් පිහිටුවූ අතර එය නිරීක්‍ෂණයට
විදේශිකයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක්ද පත් කරන ලදී. එහෙත් කොමිසමේ ක්‍රියාකාරීත්වය
ගැන අප්‍රසාදය පළ කරමින් කමිටුව ඉල්ලා අස්විය. 2009 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට මානව හිමිකම් සුරකින බවටත්
සියලු ප්‍රශ්න විසඳන බවටත් සහතිකයක් ලබාදුන් අතර ඉන්දීය ආණ්ඩුවටද එවැනිම සහතිකයක්
ලබා දුන්නේය. එහෙත් පොරොන්දු ප්‍රකාරව කටයුතු කිරීම මඟ හැර ගිය නිසා බැන් කී මූන්
"දරුස්මාන් කමිටුව" පත් කළ අතර ඉන්දීය ආණ්ඩුව "ජිනීවා"
යෝජනාවලදී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කෙළේය.
මෛත්‍රි - රනිල් ආණ්ඩුවට ඉකුත් වසරේ
මාර්තුවේ මුහුණදීමට සිදුවූයේ එලෙස විශ්වාසය කඩ කරගත් රටවල් සමූහයකටය. අදාළ යෝජනාව
සම්මත වීමට පෙර මානව හිමිකම් කවුන්සිලය ඇමැතූ විදේශ ඇමැති මංගල සමරවීරට, අතීත කැරැට්ටුව මත ශ්‍රී ලංකා රජය විනිශ්චය
නොකරන්නැයි ඉල්ලා සිටීමට සිදුවූයේ එනිසාය. කවුන්සිලය යෝජනා කළ දෙමුහුන් හෙවත්
හයිබි්‍රඩ් අධිකරණය මෛත්‍රි - රනිල් ආණ්ඩුව වළක්වා ගත්තේ විදේශ විනිසුරුවරුන්
සහභාගි වන "දේශීය යාන්ත්‍රණයක්" ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමෙනි.
එහෙත් ජනාධිපතිවරයා ඉකුත් දිනෙක බී.බී.සී. (ඕඕඛ්) සිංහල සේවය සමඟ කළ සාකච්ඡාවකදී
ජාත්‍යන්තර මැදිහත්වීම් නොපිළිගන්නා බවත්, දේශීය යාන්ත්‍රණය ගැන ජාත්‍යන්තර ප්‍රජාව කරදර වීමට අවශ්‍ය නැති බවත්
පැවැසීම විවාදයට තුඩු දෙනු ලැබීය. මේ පිළිබඳව අගමැති හා ජනපති අතර ගැටුමක් ඇති
කිරීමට අන්තවාදීන් උත්සාහ කළද අගමැතිවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කෙළේ ජිනීවා යෝජනා
අනුව කටයුතු කරන බවත් විදේශ විනිසුරුවරුන් ප්‍රතික්‍ෂේප නොකරන බවත්ය. රාජපක්‍ෂ
ආණ්ඩුව "එකඟතා" අනුව වැඩ නොකර "වගවීම" ඉවත දැමීම නිසා ලංකාවට
එරෙහි යෝජනා සම්මත කර ගැනීමටත් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමටත් මානව හිමිකම්
කවුන්සිලය පියවර ගත්තේය. අසල්වාසි ඉන්දියාවද කෙළේ ඊට සහාය දීමය. එවැනි ගැටුමකට
මෛත්‍රි - රනිල් "ආණ්ඩුව" නොයාවි යන බවට ඇති විශ්වාසය වැඩිය.
සිංහල - දෙමළ අන්තවාදීන්ට හා ඊනියා ජාතිකවාදීන්ට
අනුව අල් හුසේන් කුමරු දිවයිනට පැමිණ ඇත්තේ මානුෂික යුද්ධයේ වැරැදි අඩු පාඩු සොයා
රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයේ දංගෙඩියට රැගෙන යෑමට කරුණු රැස් කිරීමටය. හැළියේ
කිඹුලන් දකින මේ පිරිස් කොමසාරිස්වරයා රට බෙදන බටහිර බිල්ලකු බව පවසයි. ඔවුන් කලෙක
සිට අවධාරණය කරන්නේ මේ මුතු ඇටය ගිල ගැනීමට බටහිර රටවල් විසිහතර පැයේම මාන බලන
බවය. මේ පිරිස අතරේ අවංක පුද්ගලයෝද සිටිති. එහෙත් වැඩිපුර සිටින්නේ දේශප්‍රේමයට
මුවා වූ බලලෝභීන්ය. ඔවුන්ගේ නරුම හෙංචයියන්ය. මේ පිරිසට බිය වී ගන්නා තීරණවලින්
ජාතික සංහිඳියාව ඇති කළ නොහැකිය.
මෙරටට විදේශ නියෝජිතයන් එන එන වාරයක්
පාසා "මිනිස් පැය" අපතේ හරිමින් මහ මඟ අවහිර කරමින් උද්ඝෝෂණ විරෝධතා
පැවැත්වීම පසෙක දමා අප කළ යුත්තේ සිදු වූ "වැරැදි" පිළිගැනීමය.
යුද්ධයෙන් පසු ජනාධිපති රාජපක්‍ෂ පත්කළ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම නිර්දේශ
කළ පරිදි 1948 සිට සිදුවූ "විනාශය" ගැන
සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සමස්ත ජනතාවගෙන් "පාලකයන්" සමාව ඉල්ලා
සිටිය යුතුය. යළි මෙවැනි "වැරැදි" සිදු නොවීමට ඇති ඉඩකඩ වළකා පාලකයන්
විසින් "අනාගතයට සහතිකයක්" ලබා දිය යුත්තේ ජාත්‍යන්තර ප්‍රජාවට නොව
ලාංකේය ප්‍රජාවටය. කිසිවකුට ලංකාවට ඇඟිලි ගැසීමට ඉඩ නොතැබීමේ වගකීම ඇත්තේ අපටය.
එකිනෙකාට "බිල්ලන්" පෙන්වීමෙන් ලාංකේය ජාතියක් ගොඩනඟාගත නොහැකිය.
No comments:
Post a Comment