Sunday, March 8, 2015

දෙව්රම් වෙහෙරට ගල් ගැසීම

ටිරන් කුමාර බංගගමආරච්චි
ගල් කොරියකින් හමන ගල්කුඩු මිනිස් ආශ් වාසයට අහිතකර වන පරිදිම පන්සලකින් තොර තෝංචියක් නැතිව පිටවන පිරිත වුව කන්වලට කරච්චලයක් නොවෙතැ’යි කාට සහතික විය හැකිද? ෆැක්ටරියකින් පිටවන විෂ වායුවලින් දූෂිත වන පරිසරය මිනිස් ක‍්‍රියාකාරකම් වලින්ද දූෂණය නොවේද? හැමදේම ප‍්‍රමාණය ඉක්මවූ කල අවැඩකි.
කොට්ටාව, පන්නිපිටිය දෙව්රම් වෙහෙරට එරෙහිව ඒ අවට ජනයා වීදි බසිති. වීදි බසින ජනයා බෞද්ධයන් වුව කම්මලේ බල්ලන් ලෙස සිිටින්නට ඔවුහු මැලිවෙති. මෙය දිනෙන් දින ඇවිළෙන මහා ගින්නක් බවට පත්වෙමින් තිබේ. ගම්මුන් තුළ පන්සල කෙරෙහි වන වෛරයත්, දෙව්රම් වෙහෙර විහාරාධිපති හිමි ගම්මුන් මත මුදාහරින පීඩනයත් දිනෙන් දින ඉහළ නගිමින් පවතී. මහරගම පොලිස් පොත පැමිණිලිවලින් ඉහළ යද්දී පොලිසියද මේ පිළිබඳ යොමු කරන අවධානය බිංදුවට බස්සවා ඇත්තේ පිටින් බලන ඕනෑම කෙනෙකු පන්සල තෝරා ගැනීම අහඹුවක් නොවන බැවිනි.
රාජ්‍ය අනුග‍්‍රහය නොඅඩුව ලබන මහා දානපති ඇසුර නිතර ලබන භික්ෂුවකට පන්සල අවට ජනයාගේ දනක් වළඳන්නට, බණකට සහභාගිවන්නට වේලාවක් කලාවක් නැතිය. ඒ අයුරින්ම දෙව්රම් වෙහෙර ඒ අවට ජනයා ප‍්‍රතික්ෂේප කරන විහාරයක් බවට අද පත්ව ඇත. විහාරාධිපති භික්ෂුවද මොන බණ කීවද ගම්මුන් සමග අරියාදුව පහ නොකරයි. මේ ගැටුම දිනෙන් දින විවිධ ස්වරූපයෙන් පවතියි. අද ගම්මුන් සහ පන්සල අතර නයි මුගටි ගැටුමක් ඇවිලී ඇත. අප එහි යන්නේද මේ ගැටුම ගැටි ගැටී යන කලෙකය.
‘හාමුදුරුවෝ මිනිස්සු පිරිවරා ගෙන අපේ නිවස ඉදිරිපිටට ආවා. ඇවිල්ලා බලෙන්ම ගේට්ටුවත් ඇරගෙන ගේ දොරකඩට ආවා. ඇවිත් මගේ උරහිසට අත තියලා තර්ජනය කළා.’
මේ කැන්දහේන පාරේ පස්වන පටුමග ආරම්භ වන තැන නිවසේ ගෙහිමි කාන්තාවය. හාමුදුරුවන් උරහිසට අත තබා තර්ජනය කර ඇත්තේ ඇයටය. මේ ඊයේ පෙරේදා වන සිද්ධියකි. මහරගම පොලිස් පොතේද මේ ගැන සඳහන්ය.
මේ තර්ජනය කරන්නට ආසන්න හේතුව ඇය පවසන ආකාරයට අලි හුටපටයකි. අනවසරයෙන් අලි පැටව් ප‍්‍රවාහනය, ළඟ තබා ගැනීම වැනි දේ සම්බන්ධයෙන් දෙව්රම් වෙහෙරද පහුගිය කාලයේ ප‍්‍රසිද්ධියක් ඉසිලීය. ඒ පිළිබඳ නිතර පුවත් මැවුණි.
ඒ නිසාම මාධ්‍යයට දෙව්රම් වෙහෙර තහනම් කලාපයකි. දෙව්රම් වෙහෙරේ බැඳ සිටි කෙනෙරකගේ දම්වැල ලිහා දමා හාමුදුරුවන් මැරීමේ කුමන්ත‍්‍රණයක් දියත් වුණැ’යි පසුගිය කාලයේ ප‍්‍රවෘත්තියක් මැවුණි. මඳ කිපුණු කෙනෙර ලවා තමා මරන්න තැත් කළැ’යි සුමංගල හිමි ප‍්‍රකාශ කිරීමත් සමග අනේ අපොයි කියනවා වෙනුවට සැමට සිනා නැගුණේ කෙනෙරක මඳ කිපෙනවා කිසිවෙකු අසා නොසිටි බැවිනි. ඒ කතාව හා හෝ ගා පැතිරෙන විට පොලිස් පොතේ පවා කෙනෙර ඇතා බවට පත්වන්නේ කෙනෙරගේ් නම් පවා වෙනස් කරමිනි. දේවි, දෙව් වන්නේ, කෙනෙර ඇතා වන්නේ සිය මුඛයෙන් ගිලිහුණු මුසාව නිවැරදි කරන්නටය. කෙසේ වුවත් මේ කෙනෙර හෝ ඇතා හෝ ඊට පසු නොබෝ දිනකින් මියැදෙන්නේය.
විහාරාධිපති කොළොන් නාවේ සුමංගල හිමි මේ ගෙහිමි කාන්තාවට තර්ජනය කරනුයේ ඉහත කෙනෙරගේ දම්වැල ගලවා දැමීමට ඇයත් හවුල් බව පවසමිනි. කෙනෙරගේ දම්වැල ගලවා දැමූ බවට ගම්මුන් හයදෙනකුට හාමුදුරුවෝ චෝදනා කරති. මේ කාන්තාව සහ සැමියාද ඒ අතර වෙති.
අප එහි යන ආසන්න ප‍්‍රශ්නය එයය. මේ නිවස දෙව්රම් වෙහෙර ආසන්නයේ පිහිටා ඇත. එහි උඩුමහලට පන්සලේ එළැඹුම් තොරණ පෙනේ.
ගම්මුන් සහ පන්සලේ ආරාවුලට පිදුරු දමන්නට හෝ මේ දෙකොටසින් එක් කොටසක් සුජාත කරන්නට හෝ අපේ කැමැත්තක් නැතිය. මේ ප‍්‍රශ්නය මේ බිමෙහි මේ අයම වතුර පොහොර දමා රෝපණය කරගත් දෙයකි. එබැවින් එකවර කාට හෝ ඇඟිල්ල දිගු කළ නොහැකිය. මේ ගම්මුන් අතරද පන්සල සමග බද්ධ බොහෝ අය සිටිති. අද විරුද්ධ වන අය පවා අතීතයේ පන්සලේ කිට්ටුම දායකයෝ වූහ. නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් නොව බැකෝ එකෙන් කඩන තැනට ලොකු කරගෙන ඇත්තේද මේ ගම්මුන්මය.
ආරම්භය
කොළොන්නාවේ සුමංගල හිමියන් මේ ස්ථානයට පැමිණ ඇත්තේ මීට පහළොස් වසරකට පෙරය. එය හරියටම 1998 මාර්තු 29 වැනි දින මුල්ගල තබා ආරම්භ කර ඇත. ඒ කොළඹ දිස්ත‍්‍රික්කයේ හේවාගම් කෝරළයේ පල්ලේපත්තුවේ මහරගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ දෙපානම ග‍්‍රාම නිලධාරි වසමේ, චීනගහ කොටුන්න පාරේ, ලූතිනන් කර්නල් ආර්.ඩබ්ලිව්.පී. සුමිත් ධම්මික මහතාට අයත්ව තිබූ පර්චස් 14ක ඉඩමකය. මියගිය ලූතිනන්ට පින් පතා එම මාපියන් මෙම ඉඩම සුමංගල හිමිට පවරා ඇත. ‘සමාධි අසපුව’ ඇරඹෙන්නේ ඒ අනුවය. එම ආරම්භක පර්චස් 14 බිම අද හාමුදුරුවන් විකුණා ඇත.
අසපු ප්‍රෝඩාව
කුටියක් අටවාගෙන එහි පාඩුවේ වෙසෙන භික්ෂුව මිනිසුන් දුටුවේ සැබෑ භික්ෂුවක ලෙසිනි. කැලෑබද හුදකලාව පැවතිය යුතු අසපු ජනාකීර්ණ පෙදෙස් මත ව්‍යාප්ත වූයේද ඉහත අරුතින්මය. උඩුවේ ධම්මාලෝක, පිටිදූවේ සිරිධම්ම, කොළොන්නාවේ සුමංගල යන වර්තමාන ජනප‍්‍රිය බුද්ධාගමේ සංකේත වන් ලාලිත්‍ය ශරීරයෙන් යුත් භික්ෂූන් කරළියට එන්නේ මේ අසපු හරහාය. ජනාකීර්ණ පෙදෙස්වල අසපු ඉදිවන විට කුඩා කුටියක වසන සිවුරුලා ගත්තෙකු රහතෙකු ලෙස සලකා වැඳුම් පිදුම් පටන්ගන්නේද අන් කවරෙකුවත් නොව ඒ අවට මිනිසුන්ය. ගම්වාසීන් කියා ගන්නා ගම්මුන්මය. මේ අසපු තම ප‍්‍රදේශයට ආභරණයක් ලෙස සලකන මොවුන් අසපුව පන්සලක් බවට පෙරළන්නට පාර කපනුයේ ඕනෑවටත් වඩා භක්තියෙනි.
අසපුව පන්සල වීම
පර්චස් 14ක බිම්කඩක අසපුවක් අටවාගෙන එන කොළොන්නාවේ සුමංගල හිමි දෙසන අනුකම්පා බණ අසා මුලින් පුදුමයට පත්වන්නෝ මේ ගම්මුය. තම ප‍්‍රදේශයේ මෙවැනි භික්ෂුවක සිටීම එකල ආඩම්බරයක් කරගන්නා, අද එරෙහි වන ගමේ ප‍්‍රභූ පන්තිය අසපුවේ භික්ෂුව වසන විට ළඟින්ම සිටි අය වෙති. එකල මේ ගමේ සාමාන්‍ය මිනිසුන් අසපුව දැක ඇත්තේ රාජ භවනක් ලෙසය. ඔවුන්ට අසපුව ආගන්තුකය. එය ගමේ වත් පොහොසත් ප‍්‍රභූ පන්තියේ තැනක් වී ඇත. මේ ප‍්‍රභූ පන්තියට අසපුව ටිකක් ලොකුවට ගොඩනගන්නට ඕනෑ වෙයි.
වෙලට බැසීම
සුමංගල හිමිගේ අසපුව තිබෙන්නේ මනරම් වෙල්යායක් අසලය. සුමංගල හිමි ගැන පොත් ලියන ලේඛකයන් එකල ලියනුයේ මේ මනරම් පෙදෙස යම් කලක ධනවතුන්, දේශපාලකයන් ගොඩකර විනාශ කරනු ඇත්දැ’යි ප‍්‍රශ්නාර්ථ නගමිනි. එවිට අසපුවේ අසිරිය සේදී යාදෝ බියෙනි. අහෝ ඛේදයකි. එය එලෙසම සිද්ධ කරනුයේ වෙන කවුරුත් නොව අසපුවේ අධිපති හිමි විසින්මය.
අසපුවට වෙලෙන් ඉඩක් ඉල්ලන සුමංගල හිමිට පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය ගොඩ කිරීමට අවසර ලබාදෙනුයේ රූඞ් 3, පර්චස් 8.22ක කුඹුරු කොටසකි. ඒ 2005 වසරේදීය. අත දාගන්න දුන්නාම ඇඟම දාන්නේයැ’යි කතාවට කීවාට එය ඇත්තකි. ටිකක් ගොඩ කරන්නට දෙන්න පුළුවන් නම් ඔක්කොම ගොඩ කළාම මන්දැ’යි අසන්නාක් මෙන් රූඞ් 3න් ආරම්භ වන ගොඩකිරිල්ල නතරවන්නේ අක්කර 15ක් වූ මනරම් කුඹුරම ගොඩ කරමිනි.
අසපුව මාලිගය වීම
අසපුවෙන් ආරම්භ වන සුමංගල හිමිගේ ගමන කෙළවර වන්නේ මාලිගාවලිනි. ගමේ ප‍්‍රභූ පන්තියේ පිහිටෙන් ආරම්භ වන වැඩසටහනට පිටින් එන ලොකු ප‍්‍රභූ පිරිස් එකතු වීමත් සමග ගමේ අය ‘සාමාන්‍ය’ වන්නෝය. අසපුව තමන්ට සමීප වුවත් මන්දිරය, පන්සල තමන්ට දුර බව මේ ගමේ ප‍්‍රභූ පන්තියට වැටහෙන්නේ රටේ මහා පරිමාණ ධනපතියන්, දානපතියන්, දේශපාලකයන් හාමුදුරු වන්ට කිට්ටු වීමත් සමගය. මුලින් අසපුවට හයිය වූ ගමේ පිරිස හාමුදුරුවන්ටද වැදගත් නොවන්නේ ඊට වඩා පිරිස් හයිකාරයන් ක‍්‍රමයෙන් ඔහු වටා ගොඩ ගැසෙන බැවිනි. එදා අසපුවට ආ ගිය සීය දෙසීය වෙනුවට අද දෙව්රම් වෙහෙරට පෝ දිනට සිල් සමාදම් වීමට පමණක් පන්දහසක පමණ ප‍්‍රමාණයක් පැමිණෙති. සති අග එහි එන වන්දනාකරුවන් විසිදහස ඉක්මවන දිනද තිබේ. ඒ අනුව බැලූ බැල්මටම මේ අවට කලබලකාරී බවක් ඇතිවීම අරුමයක් නොවේ. හිටපු ජනපතිවරයා මේ වෙහෙරට යන එන විට, මැති ඇමතිවරුන් යන එන විට, ඇමතිවරුන් පාරවල් කොන්කී‍්‍රට් කරන විට, ජනපති පාරවල් කාපට් කර පන්සලට යන මග දෙපස ලයිට් කණු සිටුවන විට, නවලෝක මුදලාලිලා පන්සලේ ප‍්‍රධාන දායකයන් වන විට, ඒ නමින් ලොකු තොරණ බඳින විට අනේ ගමේ අය මොනතරම් පොඩිද? අසපුවේදී සුමංගල හිමිගේ කිට්ටුවන්තයන් වූ ගමේ ප‍්‍රභූන්ට අද හාමුදුරුවන් දකින්නට වුව වෙලාවක් වෙන් කරගත යුතුය. එදා මිහිරි වූ බණ අද පීකර් දහය දොළහකින් ඇහෙන විට අමිහිරි නොවේද?
මහාමායා සුදොවුන් පෙරහැර
අද හැමදේම අලූත් විය යුතුය. එසේ නොවුණහොත් පැවැත්ම අස්ථිරය. පන්සල් වෙනුවට අසපු එන්නෙත් පසුව ඒවා විහාර වන්නේත් ඒ නිසාය. ගම්මු හදන අසපු දානපතියෝ දේශපාලකයෝ වෙහෙරවල් කරති. අසපුත් හැම තැන හතු පිපෙන්නා සේ පිපෙන කල ඒවා අතරේද මිනිසුන් ඇදබැඳ ගැනීමේ විජ්ජා කරළියට ගෙන ආ යුතුවේ. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් නළුවකු සේ කරළියට එන්නේ ඒ ආකර්ෂණය ලබන්නටය. ඒ නූතන ආගමික පෙරළියේ ආරම්භයය. ඊළඟට සුමංගල හිමිගේ මහාමායා සුදොවුන් පෙරහැර වැඬේ අමුතුය. මිනිස්සු බුදුන්ට පිට දුන් බෝ ගසට වඳින්නේ නම් බුදුන් ඉපැද්දවූ මව්පියන්ට වැඳීම අරුමයක්ද කියමින් ඒ වෙනුවෙන් සුමංගල හිමි ප‍්‍රමුඛතාව දෙයි. දැන් එයද ඇබ්බැහියක් වී ඇත. එනම් මාපිය වන්දනාවය. දැන් දිනෙන් දින අලූත් වන තරමට මිනිසුන් කැමති බව මේ නව පරපුරේ ජනප‍්‍රිය හාමුදුරුවරු දනිති. ඒ අනුව සුමංගල හිමියෝ අනේකාකාර පෙරහැරවල් පැටව් ගස්සති. බඩදරු අම්මලාගේ පෙරහැර, කුඩා දරුවන්ගේ පෙරහැර, වැඩිහිටියන්ගේ පෙරහැර ආදී නම් එමටය. මේවාට මිනිස්සුද අපමණ ඇදෙති.
ගම දෙකඩ වීම
අසපුව වැළඳ ගන්නා ගමේ ඉහළ පිරිස එය විශාල වෙහෙරක් වන විට ඉබේම හැලෙති. එදා අසපුව ආගන්තුක වූ ගමේ සාමාන්‍ය පිරිස්වලට වෙහෙර පිහිට වී ඇත. ඔවුහු මල්කඩ පලතුරු කඩ දමාගෙන දිවි ගෙවති. අද ඔවුහු හාමුදුරුවන් රකිති. හිටපු ජනපති නිතර යන එනවිට මැති ඇමතිවරුන් නිතර යන එනවිට දානපතියන් පන්සලේම ලගින විට මහරගම පොලිසිය කුමක් කරන්නද? ගම්මු ගෙනෙන පැමිණිලිවලට කුමක් කරන්නද?
අධික ශබ්දය, නිතර යන එන වාහන, ඒවායේ එන විවිධ පිරිස් නිසා වන අවහිර, පෙරහැරවලට ගෙනෙන අලි නිසා වන පීඩා මේ කවරක් වුව අද මහා ගැටලූ බව පැහැදිලිය. එහෙත් ඒවා එක් දිනකින් දෙකකින් ඇතිවූ ඒවා නොවේ. වසර පහළොවක් තිස්සේ කුඩා කුටියකින් ඇරැුඹී තරවූ දෑය. එයට මුල්ගල තැබුවෝ අද මේ එරෙහිවන ගම්මු ම ය. දැන් කළහැක්කේ කුමක්ද?
අසපුව වැළඳ ගන්නා ගම්මුන්ට විහාරය, වෙහෙර අපුලක් බව වැටහේ. අද හෙට නොවූවත් තව වසර කිහිපයකින් ඉතා ඉක්මනින්ම අද ඇදෙන මේ ජන ගඟද මේ ව්‍යාජය වටහා ගනු නියතය. එදා දොළුකන්දේ යන විට ඒ අවට මිනිසුන් නැගුවේද මෙවන් චෝදනාය. අද එහි යන මිනිසුන් කෝ? මේ බලෙන් ගොඩනැගූ දෑය. ඒවා ඉතා ඉක්මනින්ම කඩා වැටෙනු නියතය. මේ ව්‍යාජ දහම් ගැට ඉක්මනින් ලෙහෙනු ඇත. එතෙක් ඉතා ඉක්මනින්ම සුවකරගත යුත්තේ මේ අසපු වැළඳ ගන්නා රෝගයය.
ඒ රෝගය වැළඳගෙන පසුකාලීනව ඉතිරි වන ප‍්‍රධාන ලෙඩ ගැන කෙඳිරිගෑමට වඩා එයට ගොදුරු නොවී සිටීම මැනැවිය.
අපට සුමංගල හිමි වැරදියැ’යි කීමට නොහැකිය. මන්ද මොවුන් වැළඳ ගන්නේත් මොවුන් ප‍්‍රතික්ෂේප කරන්නේත් එකම පිරිසය. අසපුවලට යන්නේත් අසපුවල ලගින්නේත් එකම රෝගකාරකයන්ය. කලක් යනවිට මේ රෝග ඉබේටම සුව වේ. එය වෙන තැනක වෙන විදිහට ස්ථාපිත වේ. මේ චක‍්‍රය අප නවත්වනුයේ කෙසේද?

No comments:

Post a Comment