(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.02, ප.ව.11.30)
භික්ෂුවකට චන්ඩියෙකුගේ චරිතය රඟපෑමට නොහැකි බවත් එවැනි භික්ෂුවක් තව දුරටත් පැවිදි ජීවිතයට ගැලපෙන්නේ නැති බවත් සිංහ ලේ නමැති අලුත් සෙල්ලම මිත්‍යාවක් බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ වදාලහ. උන් වහන්සේ මෙසේ වදාලේ පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 75වන සංවත්සරික මහෝත්සවයට සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හිමියෝ..,
“වර්තමානයේ හාමුදුරුවරුන්ගේ පිරිහීමක් දක්නට තිබෙනවා. තමන් බුදු චීවරයට අනුව හැසිරෙනවාද කියා හාමුදුරුවරුන් කල්පනා කළ යුතුයි. තමන් තුළ සංවරයක් නැතිනම් එම හාමුදුරුවරුන් සිවුරක් දමාගෙන සිටියාට සිවුරට ගැලපෙන්නේ නැහැ. ඒවාගේම භික්ෂූන් වහන්සේ නමකට චණ්ඩියෙකුගේ චරිතයක් රඟපාන්න බැහැ. චණ්ඩියෙකුගේ චරිතයක් භික්ෂුවක් තුළ තිබෙන්නට බැහැ. එය භික්ෂුවකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. භික්ෂුවකට යම් සීමාවන් තිබෙනවා. යම් භික්ෂුවක් ඒ සීමාවන් පැන්නුවහොත් ඒ භික්ෂුව තවදුරටත් පැවිදි භූමිකාවට ඇතුළත් වන්නේ නැහැ.
අද සිංහ ලේ කියා අලුත් සෙල්ලමක් මේ රටට ඇවිත් තිබෙනවා. සිංහ ලේ කියන්නේ සිංහයාගේ ලේ වලටයි. සිංහ ලේ වලින් හැදුණු ජාතියක්ද අපි? මෙය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. කතන්දරයක් පමණයි. අප සිංහ කියන පදය යොදා ගත්තේ ප්‍රෞඩත්වය හඟවන වචනයක් හැටියටයි. මේ රටේ නැවත ලේ වැගිරීමක් වෙනවාට අප කැමැති නැහැ. නමුත් මේ අය කටයුතු කරන්නේ මේ රටේ යළිත් ලේ වැගිරීමක් කරන්නටයි. ඒ නිසා මේවා පිටුපස සිටින්නේ කවුද කියා සොයා බැලිය යුතුයි.
නීතියක් නැති එකම ආගම බුදු දහමයි. බුදුන් වහන්සේ අපට නීති පනවා නැහැ. ක්‍රිස්තියානි ආගමේ ‘ක්රමාන්’ කියා නීතියත් තිබෙනවා. නමුත් බුද්ධාගමේ එහෙම නීති නැහැ. බුද්ධාගම සංයමයෙන් පවත්වාගෙන යන ආගමක්. ධර්මය පිළිබඳව දැනට කතිකාවක් තිබෙනවා. ඒ කතිකාව තුළින් කළ වැරැදි සාදාගත යුතුයි. බුද්ධාගම පටු නොවූ පළල් ආගමක්. අප සියලු දෙනාම සමගියෙන් හා සාමදානයෙන් ජීවත්විය යුතුයි.“
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියෝ මෙසේ වදාල අවස්ථාවේදී කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියෝ ද මුලසුනේ සිටියහ. පසුගිය 31 දා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණ.
No comments:
Post a Comment