Monday, February 1, 2016

බ්‍රිතාන්‍යයේ ඇමැති ජෝඩුවක් හිරේට යද්දී අපේ ජඩමාධ්‍ය දඩ බල්ලන් සිටියා නම්..! යෝෂිත, නිශාන්තලාගේ වැරදි මොනවාදැයි පොලිසිය නිල වශයෙන් කියයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.31, ප.ව‍.10.00) 
රුපියල් කෝටි ගණනක කළු සල්ලි සුදු කර හිරේ විලංගුවේ වැටුනු මැදමූලන රාජපක්ෂලාගේ යෝෂිත චෞර පුත්‍රයා වෙනුවෙන් දඩයමේ යන ලංකාවේ ජඩ මාධ්‍යකරුවෝ රිමාන්ඩ් බන්ධනාගාරයේදී චෞරයාට කන්න දුන් පොල් සම්බල් බත් ගැනද, චෞර පියාගේ කඳුලු ගැනද, මලයා රොකට් රෝහිතගේ තර්ජන ටෝක්ස් ගැනද අනුවේදනීය කතා ගොතමින් ප්‍රවෘත්ති ලෙස පළකරමින් අපූරු මාධ්‍ය කලාවක් ප්‍රදර්ශනය කරමින් සිටිති. 
මේ දඩයමේ යන ජඩමාධ්‍ය දඩ බල්ලෝ එකෙකු හෝ යෝෂිත චෞර පුත්‍රයා හිරේ වැටුනු චෝදනා මොනවාදැයි ජනතාවට කියන්නේ නැත. ඒ ගැන පොලිසියෙන් අහන්නේ ද නැත. පුතා හිරේ වැටුනේ ඇයිදැයි අහන්නේද මැදමූලන මහ හොරාගෙනි. ‘මගෙන් පලිගන්න, පුතාගෙන් පලිගන්න එපා‘ යැයි මහ හොරා කියයි. යෝෂිත අත් අඩංගුවට ගත්තේ මහින්දගෙන් පලිගැනීමට නම් නිශාන්ත අත් අඩංගුවට ගත්තේ වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන අර්ජුනගෙන් පලිගන්නදැයි දඩයමේ යන ජඩමාධ්‍ය දඩ බල්ලෝ නොවිමසති. 
ජඩමාධ්‍ය දඩ බල්ලන්ගේ දීන නීච තුච්ඡ මාධ්‍ය කලාවට බ්‍රිතාන්‍යයෙන් පාඩමක් දිය හැකිය.
මීට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය අධිකරණය බ්‍රිතාන්‍යයේ හිටපු ඇමැතිවරයෙකු සහ බිරිඳ මාස 8 කට හිරේ දැම්මේය. ඒ යෝෂිත සේ කෝටි ගණන් කළු සල්ලි සුදු කිරීමට ගොස් නොවේ. ඇමැති කර තිබූ වරද වූයේ තම කාරය අධිවේගයෙන් පදවා හසුවී දඩ මුදල ගෙවද්දී ඇමැති බිරිඳට අයත් ලොරියක නමට දඩ මුදල් ගෙවීමය. සාපරාධී විශ්වාසය කඩ කිරීම නිසා ඇමැතිටත් බිරිඳටත් දෙදෙනාටම දඩ මුදලකුත් සමග මාස 8 ක සිර දඬුවම් නියම විය. සිරගත වෙද්දී ඇමැතිගේ වයස අවුරුදු 80 කට වැඩිය.
මේ සිද්ධියේදී මාධ්‍ය නිදහස උපරිමය භුක්ති විඳිනවා වුවද බ්‍රිතාන්‍යයේ කිසිදු මාධ්‍යයක් ඇමැති සහ බිරිඳ බන්ධනාගාර රියකින් බන්ධනාගාරය වෙත ගෙන යන රූප රාමු පෙන්වා වරද සහ දඬුවම ගැන වාර්තා කරමින් අනෙක් අයටද වැරදි කිරීමෙන් සිදුවන ආනිශංසය ගැන දැනගන්නට සැලැස්වූවා මිස ඇමැති ජෝඩුවේ වොයිස් කට් ගැනීමටවත්, ඇමැති දරුවන්ගේ කඳුලු පෙන්වීමටවත්, ඔවුන් ලවා ‘අපේ දෙමාපියන් නිර්දෝෂීය මේ දේශපාලන පලිගැනීමකැ‘යි කියා කියවා ගන්නටවත්, දරුවන්ගේ ෆේස්බුක් පිටු වල සටහන් උපුටා පල කරන්නටවත් පෙළැඹුනේ නැත. අඩුම ගණනේ ඇමැති අයත් වූ පක්ෂයේ පුවත් අඩවිය හෝ තම වියපත් පාක්ෂිකයා නිර්දෝෂී කරන්නට පෙළැඹුනේ නැත. 
ඊට එකම හේතුව මුළු රටක් ලෙසම බ්‍රිතාන්‍යයේ ජනතාව සහ මාධ්‍යකරුවන් දඩයක්කාරයන් සමග දඩයමේ යන දඩ බල්ලන් නොවන නිසාය. ලංකාවේ පාහර ජඩ මාධ්‍ය දඩ බල්ලෝ ලෝකයේ ශිෂ්ඨ සම්පන්න මිනිසුන් අතර සමස්ත රටම අවමානයට පත් කරති. 
යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග ඇතුළු සීඑස්එන් චෞරයන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ ඇයිදැයි ශ්‍රී ලංකාවේ පොලිසිය අද නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙළේය. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
2016.01.31


කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ B/9823/2015 නඩුවේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම

01) 2015 මාර්තු 15 වෙනිදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය නම් සංවිධානය විසින් පොලිස්පති තුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇත. මෙම පැමිණිල්ලට අනුව කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපොල අවභාවිතය යන චෝදනා මෙම ආයතනයට විරුද්ධව ඉදිරිපත් කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකට සිදුකරන බරපතල ඝනයේ අපරාධයකි. ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශව මගින් විමර්ශන ආරම්භ කර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B/9823/2015 යටතේ කරුණු වාර්තා කරන ලදී. මේ දක්වා ගරු අධිකරණය වෙත වැඩිදුර වාර්තා 20 ක් ඉදිරිපත් කර ඇති අතර එමගින් විමර්ශනයේ ප්‍රගතිය ගරු අධිකරණයට වාර්තා කර විමර්ශන සඳහා නියෝග ලබා ගෙන ඇත. මෙම විමර්ශනය සිදුකරන ලද්දේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සාමාන්‍ය අපරාධ නීතිය අනුව වෙනත් ඕනෑම පොලිස් නිලධාරියෙකු වෙත පැවරෙන විමර්ශන බලතල උපයෝගී කර ගනිමිනි. 
02) මූලික වශයෙන් විමර්ශන නිලධාරීන්ගේ විමර්ශනයට ලක් වූයේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) නාලිකාව සඳහා සංස්ථාපනය කරන ලද සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234 ක් ලබාගෙන තිබූ ආකාරය වේ. මේ සමාගමේ මූලික කොටස් සංඛ්‍යාව හත් ලක්ෂ හතරක් (700004) ක් වූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 07 ක් බව අණාවරණය විය. ඉතිරි ප්‍රාග්ධනය ලැබුනු ආකාරය ගැන විමර්ශන කිරීමේදී ඒවා ව්‍යාජ ගනුදෙනු සහ විදේශ රාජ්‍යයක සිට නීත්‍යානුකූල නොවන ක්‍රියා මගින් උපයා ගන්නා ලද මුදල් බව අනාවරණය වී ඇත. විදේශීය රාජ්‍යයක සමාගමක් හරහා ලැබුනු ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ගනුදෙනුවක් තුලින් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) සමාගමේ ප්‍රාග්ධනයට අවශ්‍ය අනෙකුත් මුදල් ලැබී ඇති බව විමර්ශනයේදී හෙලි වී ඇත. මෙම ගනුදෙනුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විදේශ සමාගමක ආයෝජනයක් මත සිදුකරන ව්‍යාපෘතියකි. වැඩිදුරටත් අනාවරණය වූයේ එම මුදල් CSN ආයතනයට ලැබුනේ යයි කියන ක්‍රම වල අදාල ගනුදෙනු පෙන්වා දී සිටින ආකාරයෙන් සත්‍යය වශයෙන් සිදුවී නොමැති බවයි. එබැවින් ආරම්භක ප්‍රාග්ධනය ලෙසට යෙදැවූ මුදල් විශුද්ධිකරණය තුලින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීමට නෛතික හා සිද්ධිමය පදනමක් උද්ගත වී ඇත.
03) මෙම සමාගමේ ලේඛන වලට අනුව මෙහි කොටස් කරුවන් සියළු දෙනාම ආරම්භක අධ්‍යක්ෂක වරුන් වන අතර ඔවුන්,
* රෝහණ වැලිවිට
* කවිෂාන් දිසානායක
* රවිනාත් ප්‍රනාන්දු
* ශාඩියා කරුණාජීව වේ.
ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංග ය. සමාගමේ ගනුදෙනු වලට අදාල විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේ දී ඉතා පැහැදිලි ලෙස අනාවරණය වී ඇත්තේ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ යන අය එම සමාගමේ සභාපතිවරයා ලෙසට සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි.

04) මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට මෙම තැනැත්තන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් මෙම වරද සම්බන්ධව ප්‍රකාශ  කරන ලද කරුණු තුලින් ඔවුන්ගේ නිර්දෝෂී භාවය අනාවරණය නොවුනි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කරමින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(05) උප වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකු සතු නෛතික බලය ඉෂ්ඨ කරනු වස් මෙම සැකකරුවන් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්තුමා විසින් ඔවුන් 2016.02.11 දක්වා බන්ධනාගාර ගත කරන ලදී.
05) ඉහත වරදට අමතරව මෙම සැකකරුවන් කූඨ ලේඛන පිලියෙල කිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදු කිරීම, සමාගම් පනත උල්ලංඝනය කිරීමද, සිදුකර ඇති බව අනාවරණය වී ඇත. රාජ්‍ය දේපොල අවභාවිතය සිදු කරමින් අපරාධ වරදවල් සිදුකර ඇති බවටද අනාවරණය වෙමින් පවතී. මෙම කරුණු ඔස්සේ වැඩිදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබේ.
06) මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තොරව යම් යම් විමර්ශන කටයුතු සාර්ථකව හා නිවැරදි ලෙස සිදුකිරීමට නොහැකි විය. එබැවින් එම පදනම මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිදුවිය. සියලුම විමර්ශන කටයුතු වලින් පසුව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා උධෘත ගොනු  ගරු නීතිපතිතුමා වෙත බාරදීමට නියමිතව ඇත.
අත්සන් කෙළේ


රුවන් ගුණසේකර

බී.ඒ.(පේරාදෙනිය) නීතිඥ
සහකාර පොලිස් අධිකාරී
පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍
පොලිස් මූලස්ථානය‍

No comments:

Post a Comment