Tuesday, June 30, 2015

ජනපති මෛත්‍රී නිර්පාක්ෂික විය යුතුයි

මහ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකව සිටිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.

ජනාධිපතිවරයා ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගතහොත් ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකින් යුතුව රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබෙන බව උන්වහන්සේ සඳහන් කළහ.


මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්පාක්ෂිකභාවයෙන් ඉවතට ගොස් ඇතැයි කී සෝභිත හිමියෝ, එම වැරැද්ද නිවැරදි කරගෙන ජනාධිපතිවරයා ඉදිරි කටයුතු සිදුකළ යුතුයැයි ප්‍රකාශ කළහ.
“මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අපි ආරාධනා කරන්නේ ඔබ පොදු අපේක්ෂකයෙක් විදියට ඉන්න. ඒ විදියට ප්‍රතිපත්ති මාලාව දෙස පුළුල්ව බලා අනාගතයේදී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ඔබ වටා අන්අයට එකතු වෙන්න කියා ආරාධනා කරන්න. එවිට යූ.එන්.පී. අයත්, ශ්‍රී ලංකා අයත්, දෙමළ අයත් එකතු වේවි. ඔබතුමා නිර්පාක්ෂිකභාවය ආරක්ෂා කරන්න ඕන. එහෙම නැතිව යූ.එන්.පී. එකට දෙන්න, ශ්‍රී ලංකා එකට දෙන්න කියන්න එපා.


තමන් නියෝජනය කරන පක්ෂය දිනවනවා කියලා ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කීම වැරදියි. එතුමා පක්ෂ නායකත්වය බාරගැනීමත් වරදක්. ඉදිරියටත් පොදු බව ආරක්ෂා කරගත යුතුයි. පොදු බව තමයි ප්‍රතිපත්තිමය ජයග්‍රහණයකට මග පාදන්නෙ. දැන්වත් ඒ වැරැද්ද හදාගන්න කියලා එතුමාට අපි ආරාධනා කරනවා" යනුවෙන් උන්වහන්සේ පවසා සිටියහ.

No comments:

Post a Comment