Wednesday, June 24, 2015

තවත් ආරක්ෂක ලොක්කෙකුට මහජන මුදලින් ඇඹේනියට ගිනි අවි පුහුණුව දීමේ ගාය හැදිලා: මෙන්න සාක්කි

(ලංකා ඊ නිව්ස් -2015.ජුනි.24, ප.ව.10.45) 
යුද්ධය නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලොක්කන්ට අමුතුම ගායක් හැදී තිබේ. එය නම් තමන්ගේ ඇඹේනියන්ට රටේ මහජනතාවගේ මුදලින් ගිනි අවි පුහුණුව ලබා දීමය. පසුගියදා එසේ කළ ස‍ීඅයිඩී අධ්‍යක්ෂවරයා ගැන හෙලි කිරිමෙන් පසු අද හෙලිකිරීමට සිදුව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවි ආයුධ විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් වන සමන් නිශාන්ත දිසානායක නමැත්තාටද සිය ඇඹේනියට මහජන මුදලින් ගිනි අවි පුහුණුව ලබා දීමේ ගාය හැදී ඇති බවයි.
පසුගිය ජුනි 20 වන සෙනසුරාදා කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා (එස්ටීඑෆ්) වෙඩි තලාවේ වීඅයිපී රේන්ජ් (VIP Range) ලෙස හැඳින්වෙන කොටසේ දී සමන් නිශාන්ත දිසනායක සහ ඔහුගේ ඇඹේනිය මහජන මුදලින් ගිනි අවි පුහුණුව ලත් ආකාරය මෙහි දැක්වෙන සේයා රූ වල දැක්වේ.  
උදෑසන 9 ට ආරම්භ වූ වෙඩි පුහුණුවට විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් යටතේ සැරයන් වරුන් විසින් ඔහුගේ බිරිඳට මිනි උෂී ගිනි අවිය භාවිතා කරන ආකාරයත් ඉන් ඉලක්කයට වෙඩි තබන ආකාරයත් පුහුණු කරවනු මෙහි
දැක්වේ.
මොණරාගල සාමාන්‍ය ගොවි පවුලකින් පැවත එන සමන් නිශාන්ත දිසානායක ගෝඨාභයගේ යුගයේදී ආරක්ෂක අමාත්‍යංශයට ආගමනය වීමත් සමග අද වන විට මොණරාගල කුඹුරු අක්කර ගණන් හිමි ව්‍යාපාරිකයෙකු වීම පුදුම සහගතය.
ගෝඨාභය සමයේ සිට අද දක්වා කිසිදු ආපදාවකින් තොරව මොහු ආරක්ෂක අමාත්‍යාංශයේ අවි ආයුධ විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස සිටිමින් රටට අවි ආයුධ ගෙන්වන කුප්‍රකට ජාවාරම් කරුවන්ගෙන්
ලබාගන්නා අති විශාල කොමිස් මුදලින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරයි.
යහපාලන ආණ්ඩුවක් බිහිවීමෙන් පසුවත් වැරදි කරුවන් යහතින් වැජඹීම සහ වැරදිකරුවන්ට උසස් වීම් තාන්න මාන්න ලබා දීම නිර්ලජ්ජිතවම සිදුකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ වීම පුදුමාකාරය. 
ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව අශීලාචාර ලෙස පත් කරන ලද යුද හමුදා අධිකරණයේදී බොරු සාක්කි කී පුද්ගලයාට සැවොම විරුද්ධ වෙද්දී
මෛත්‍රීපාල සිරිසේන විසින් හමුදාපති ධූරය දුන්නේ ය. හිරේ දැමිය යුතු අපරාධ කරුවන් මෙන්ම දූෂිතයන් වූ හිටපු හමුදාපති දයා රත්නායකට සහ හිටපු මාණ්ඩලික ප්‍රධානි ජගත් ජයසූරිය ට විශ්‍රාම යෑමෙන් පසු තානාපති තනතුරු දුන්නේය. දූෂිතයෙක් බවට සාක්කි සහිතව පුන පුනා කියද්දී ගගන් බුලත්සිංහල නමැති දූෂිතයාට ගුවන් හමුදාපති තනතුර දුන්නේ ය. 
මෛත්‍රීපාල සිරිසේන මහතා කියමින් සිටියේ විශ්‍රාම යෑමෙන් පසුව විරිදු කියන බවකි. ජනාධිපති වීමට සටන් කරන බව ඔහු කීවේ නැත. නමුත් ඔහුව පොදු අපේක්ෂකයා කරවා ජනාධිපති පුටුවට ඔසවා තැබුවේ මේ රටේ විපාක්ෂික මහජනතාව ජාති පක්ෂ බේද අමතක කොට එකාවන්ව සමගි වීමෙනි. ඒ රාජපක්ෂලා එළවා දමා ඔවුන් විසින් රටේ පැල පදියම් කර තිබූ දූෂනය සහ භීෂනය මුලිනුපුටා දැමීමට ය. මෛත්‍රීපාල සිරිසේන මහතා මහජනතාවගේ සේවකයා යැයි පුන පුනා කියන්නේ නම් තමන් බලයට ගෙන ආ මහජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කළ යුතුය. තමන් යටතේ ඇති ආයතන වල සිටින දූෂිතයන් එළවා දැමීම සහ කරන ලද දූෂන අපරාධ ගැන සොයා ඔවුන්ට දඬුවම් කිරීම කළ යුත්තේ ඔහු මිස අන් අය නොවේ. 
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන පරිදි පසුගියදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් දූෂිත ගුවන් හමුදාපති
ගගන් බුලත්සිංහලට පවසා ඇත්තේ ඔහුට විරුද්ධ සාක්කි සහිත තොරතුරු ලංකා ඊ නිව්ස් එකට දුන්නේ කව්ද කියා සොයන ලෙසය. රාජපක්ෂලා කෙළේද ඔය ටිකමය. ලංකා ඊ නිව්ස් විසින් දූෂිතයන් ගැන හෙලි කරද්දී ඔවුන්ද කෙළේ අප කී දූෂිතයා සහ දූෂණ ගැන පරීක්ෂණ සිදු කිරීම නොව හෙළිකරන අප ගැන සෙවීමය. අප තහනම් කිරීමය. 
අද ඉහත ප්‍රවෘත්තියෙන් හෙලි කළ සමන් නිශාන්ත දිසානායකගේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ආරක්ෂක අැමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි මහජනතාව බලා සිටිනු ඇත. 

No comments:

Post a Comment