Lanciburuwa - ලන්සිබුරුවා
Sri Lankan & International Stories Compendium. ශ්රීලාන්කීය සහ ජාත්‍යන්තර පුවත් සාරසංග්‍රහය
Wednesday, February 3, 2016
මහනුවර මාලිගාව පාර වැසීම: මෛත්‍රීගේ අනාගතය තීරණය කරන්නේ අස්ගිරි පන්සල නොවෙයි
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
මහනුවර නගරයේ පවත්නා රථ වාහන තදබදය අවම කිරීමට, මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගෙනා වළාකුළු බැම්මට සමාන්තරව පාලමක් ඉදිකිරීමේ යෝජනාවද ප්ර්රතික්ෂේපවී ඇත. සමහරුන්ට අවශ්‍ය දළදා මාලිගාව අසළ මාර්ගය වසා දමා වාහන හැමදාම වැව රවුමෙන් ගමන් කරනු දැකීම බව පෙනේ. ඒ නිසා ගෙවෙන හැම තත්පරයකම ජනතාවගේ සිරුරු තුළට විෂබීජ ඇතුළු වෙමින් පවතී. විද්වත් විශේෂඥයන්ගේ නිරීක්ෂණ අනුව මහනුවර පරිසර දූෂණය වීමත් ඒ හරහා ජනතාව ශ්වසන ආදි රෝගවලට ගොදුරුවීමත් පටන් ගෙන ඇත. ඒ නිසා ඊට වහා පිළියම් යොදනු මිස සාකච්ඡා හරහා කල් මැරීම අපරාධයකි.
මහනුවර නගරයේ රථවාහන ගැටලූවට, නගරයේ පිහිටීම, මහනුවර නගරය අවට ප්‍රදේශ ශීඝ්‍රයෙන් ජනාවාස වීම, නගරයේ රථවාහන පාලනය අවිධිමත් වීම ආදි හේතු පාදක වී ඇත. නගරයේ පිහිටීම සහ ශීඝ්‍රයෙන් ප්‍රදේශය ජනාවාස වීම පාලනය කළ නොහැකිය. ඒ නිසා රථවාහන තදබදයට තාවතාලික සහ දීර්ඝ කාලීන පිළියම් යෙදිය යුතුවේ. එහෙත් බිලියන ගණන් වැයවන මෙගා ව්‍යාපෘති ගැන සිහින මැවීම නිසා ගැටලූව අවම කර ගැනීමට ඇති ඉඩ පවා ඇහිරී ඇත. බලධාරීහු මහනුවර නගරයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට අසමත්ව සිටිති. විශේෂයෙන් මහනුවර මහ නගර සභාව ජනාවාස ව්‍යාප්තියෙන් වාසිය එනම් බදුකාසි පමණක් එකතු කරමින් සිටියි. එහෙත් ජනතාවගේ ගැටලූ අවම කිරීමට පියවර ගෙන නැත. පුද්ගලික වාහන නතර කිරීමට නගරයේ විසිරුණ ඉඩ පවා අලෙවි කිරීම නිසා නිතර පොදු වාහන අංගණ පවා පිරීයයි. ආසන්න දසවසර තුළ මහනුවර නගරයේ අලූතෙන් ඉදිකළ සහ වැඩි දියුණුකළ මාර්ග පහසුකම් ඉතා අල්පය. විලියම් ගොපල්ලව මාවත යනු ගම්උදා උත්සවයක ප්‍රතිඵලයක් මිස නගර සංවර්ධනයේ ජයග්‍රහණයක් නොවේ. මේ දැවෙන ප්‍රශ්නයට බොහෝ සරල විසඳුම් පවතී. එහෙත් බලධාරීහු කි‍්‍රයා නොකරති.
වැව රවුමෙන් රෝහල දෙසට යන වාහන බෝගම්බර ක්‍රීඩාපිටිය වටා ගමන් කරයි නම් සිරගෙදර අසළ වටරවුමේ ඇහැලේපොල කුමාරිහාමි මාවත අසල තදබදය තුනීකළ හැකිය. බාලදක්ෂ මූලස්ථාන බස් නැවතුමට එන බස්රථ හන්තාන පාරෙන් ගමන් කරයි නම් සිරගෙදර වටරවුමේ සිට විලියම් ගොපල්ලව මාවත තෙක් මාර්ගයේ තදබදය තුනී වේ. මේවා පරිපාලන තීන්දු පමණකි. ව්‍යාපෘති නොවේ. බලධාරීන්ගේ අහස් පාලම්, උමං මාර්ග සිහින නිසා මේවා යටපත් වේ. එසේම හන්තාන පාරේ රෝහල් හන්දියේ සිට විලියම් ගොපල්ලව මාවතට විහිදෙන පටු පාර පුළුල් කළ හැකි විභවයකි. එවිට, ඍජුව වැවරවුම පසුුකර යන වාහන නගරය මගහැර බෝගම්බර ක්‍රීඩාපිටිය වටා ගමන් කරනු ඇත. එවිට දුම්රියපොළ, ඔරලෝසු කණුව කේන්ද්‍රකොට ඇතිවන තදබදය අවම වේ. එසේම කැමති වාහන හිමියන්ට ලේවැල්ල පාරෙන් කටුගස්තොට වෙත ගමන් කළ හැකිවේ.
ඉහත කී හන්තාන අඩිපාර විලියම් ගොපල්ලව මාවත තෙක් පුළුල් කිරීමේ යෝජනාව වසර 15ක් පුරා ඉදිරිපත් වෙමින් පවතී. ඒ ගැන කිසිවකු උනන්දු නොවන්නේ මෙගා ව්‍යාපෘති ගැන ඇති කෑදරකම නිසාය. සමහරු රජ පිහිල්ල මාවත දියුණු කිරීමට කතාකරති. සුවිසාල ඉදිකිරීම් නිසා රජ පිහිල්ල මාවත දැනටම පාරිසරිකව ගිලන්ව මහා අවදානමකට මුහුණපා සිටී. සංවේදී පරිසර ගැටලූ පවත්නා මහනුවර ප්‍රදේශයට වඩාත් අවශ්‍ය වන්නේ කඳුශිඛර හාරා උමං තනන මෙගා ව්‍යාපෘති නොවේ. සරල විසඳුම්ය.
මහනුවර නගරයේ වාහන තදබදයට ඇති සරල විසඳුම ඒ26 පාරේ ශී‍්‍ර දළදා මාලිගාව ආශි‍්‍රත මුල් කොටස විවෘත කිරීමය. එකී මාර්ගය විවෘතවේ නම් බූවැලිකඩ පසුකර යන වාහන විනාඩි 5කින් නගරයෙන් ඉවතට යනු ඇත. පාර වැසීම නිසා වාහනයකට නගරයෙන් පිටවීමට පැයක් පමණ ගතවේ. පාර අවහිර කිරීමේ ප්‍රතිඵලය වාහන තදබදය පමණක් නොවේ. එය ප්‍රදේශයේ පාරිසරික පැවැත්මට හා මහජන සෞඛ්‍යයටද තර්ජනයකි. මේ පාර වසා දැමුවේ යුද බිය නිසාය. දැන් යුද්ධය අවසන්ය. රට සන්සුන්ය. එහෙත් පාර විවෘත කර නැත. ඒ නිසා ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්ය.
මේ නිසාම මහනුවර මහ නගර සභාව සහ මල්වතු මහ නාහිමියෝ එක්ව ඒ26 පාර විවෘත කරන ලෙස මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියහ. එදවස නියෝජ්‍ය මහාමාර්ග ඇමති මර්වින් සිල්වා මහින්දගේ නියමයෙන් පැමිණ, පාර යළි විවෘත නොකරන බව මල්වතු මහනාහිමියන්ට දැන්වීය. ඒ තර්ජනයෙන් මහ නගර සභාව නිහඬ විය. මර්වින් සිල්වා මල්වතු මහ නාහිමියන් හමුවූ දින මධ්‍යම රාති්රයෙහි ශී‍්‍ර දළදා මාලිගාවට සමගාමී ඒ26 පාරේ ආරම්භක කොටස ස්ථිරව වසා දැමීය. ඒ 26 මහ පාරේ මුල් කොටසේ ජනතා අයිතිය පාලකයන් මහ ? කොල්ලකෑවේ එසේය. පාර වැසුවාට පසුව මහින්ද රාජපක්ෂ මාධ්‍ය සමග පැමිණ මමත් යන්නේ පයින් කියා ප්‍රකාශයක්ද කළේය. එහෙත් පාර වසා දෙසතියක් තුළ ප්රභූන්ට වාහනවලින් මාලිගාවට යාම පිණිස උඩවත්තා කැලේ කපා පුළුල් පාරක් කපා ගත්හ. උක්ත පාර විවෘත කිරීමත් ඒ26 පාර වැසීමත් යන දෙකම තක්කඩි කි්රයාය. ආණ්ඩුව උඩවත්තා කැලේ පාර ඇරීමට උත්සව කළේ නැත. එය අඳුරේ මාලයක් බලෙන් කඩාගත්තාට වඩා බියගුලූ තුච්ඡු කි්රයාවකි. ජනතාව තමන්ගෙන් පැහැරගත් ඒ අයිතිය ඉල්ලා සිටිති.
1978දී රජය සතුව පැවති මහමළුව දළදා මාලිගාවට පූජා ඔප්පුවකින් පවරා දුන්නේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසිනි. එකී පූජා ඔප්පුවේ මහ මළුවේ දකුණු මායිම ඒ26 මාර්ගයයි. ඒ අනුව ඒ26 පාර සහ දළදා මාලිගාව යනු දෙකකි. මහින්ද මහ ? පාර වසා දැමුවේ ඊට එරෙහිව ජනතාව පෙළගැසෙතියි යන බියෙනි. අද මෛති‍්‍ර මහදවාලේත් පාර විවෘත නොකරන්නේ භික්ෂුන් පාරේ නිදාගනිතියි බියෙනි. රේස් පැදීමට එරෙහිවූ භික්ෂූහු එදා පාරේ නිදානොගත්හ. ඒ රේස් පැදීම බුද්ධාගමට එකග නිසා නොවේ. පාලක මහින්දට තිබුණ බිය නිසාය. මෛත්‍රීපාලට තමා කවුදැයි තේරුම් ගැනීමට මේ පාර ප්‍රශ්නයම ප්රමාණවත්ය. ඒ26 පාර රාති‍්‍රයේ වැසුවේ දළදා වහන්සේ වෙනුවෙන් හෝ නගරයේ ජනජීවිතය වෙනුවෙන් නොවේ. මේ පාර කොල්ලකෑවේ යුද්ධය නිමවා, ජය පැන් බොන අතරය. ඒ26 පාර වසාදැමීමේ සහ විවෘත නොකර සිටීමේ යථාර්ථය මෙය වේ.
ජනාධිපති අපේක්ෂකයා වී මෛත්‍රීපාල සිය පළමු ජයග්රාහි රැුළිය සඳහා 2014 දෙසැම්බර් 9 වෙනි දින මහනුවරට පැමිණියේය. එදින උදයේ දළදා මාලිගාවේදී ඔහු හමුවට පැමිණි සුභපතන්නෝ මේ ඉල්ලීම කළහ. සවස් භාගයේ මහනුවර රිවර්ඬේල් හොටලයේදී සිය ගණනක් වෘත්තීයවේදීහු ඒ26 පාර විවෘත කරන ලෙස මෛත්රී්රපාලගෙන් ඉල්ලූහ. එහිදී ජයගත් වහාම ඒ26 පාර නිදහස් කරන බවට ඔහු ශපථ කළේය. ජයගෙන වසරක්ද ගෙවී ඇත. එහෙත් මෛත්‍රීපාල මහින්ද මෙන් තමා රටේ පාලකයා බව මහනුවර ජනතාවට ඔප්පු කර නැත. පාර විවෘත කිරීමට එරෙහි කිසිවකු එදා පොදු අපේක්ෂකයාට සුබ පැතුවේ නැත.
අස්ගිරි පාර්ශ්වය ඒ26 පාර විවෘත කිරිමට එරෙහිව සිටියි. මල්වතු මහ නාහිමියන් ඒ26 පාර වසා තිබීම ගැන නොසතුටෙන් පසුවෙති. භික්ෂුන්ද විසම්මතික මේ ප්රශ්නය පාලකයා විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් බව මෛත්‍රීපාල තේරුම්ගත යුතුවේ. ඒ26 පාර විවෘතකරන ලෙස ජනතාව ඉල්ලා සිටින්නේ ආගමට බුදුන්ට එරෙහිව නොවේ. එය ජීවත්වන පරිසරයට හා ජනජීවිතයට හානිකර හෙයිනි. බුද්ධාගම රාජ්‍ය ආගමවූ මේ රටේ පාර මෙසේ වසා තිබීම බෞද්ධ දර්ශනයටද එක`ග නැත. ආගම් පටලා ගෙන රට පාලනය කළ නොහැකිය.
ගම්පොල වල්ලහගොඩ දේවාලය ඉපැරණි එකකි. එහි වාර්ෂික පෙරහැර කහටපිටිය මුස්ලිම් පල්ලිය ඉදිරිපිටින් හේවිසි තූර්යනාද සමග ගමන් කිරීම දිගු කලක් පැවති සිරිතකි. භාවිතාවකි. කහටපිටිය මුස්ලිම් පල්ලියේ උවමනාවට බි්රතාන්ය ආණ්ඩුව 1912දී එය තහනම් කළේය. බස්නායක නිලමේ ඒ තහනමට එරෙහිව නඩු පැවරීය. නඩුවේ තීන්දුව වල්ලහගොඩ දේවාලයට පක්ෂව ලැබිණ. ආණ්ඩුව ඊට එරෙහිව අභියාචනා කළේය. අභියාචනාධිකරණ තීන්දුව දේවාලයේ අවාසියට හෙවත් මුස්ලිම් පල්ලියට පක්ෂවද ලැබිණ. එහිදී බෞද්ධයෝ බි්රතාන්ය පි්රවි කවුන්සලයට අභියාචනා කළහ. 1915 සිංහල මුස්ලිම් අරගලයට මුල් වුණේ මේ පෙරහැර සිද්ධියයි. ඒ තත්ත්වය ගැඹුරෙන් සලකා බැලූ නව අග්‍රාණ්ඩුකාර
ජෝන් ඇන්ඩර්සන් මුස්ලිම් පල්ලියේ විරෝධය විසි කොට, හේවිසි තූර්යනාද සමග පාරේ පෙරහැර යාමේ අයිතිය සහතික කළේය. පැවති සිරිතක් භාවිතාවක් ඉවත දමා ඇදහිලි විශ්වාස කරන සටනකට පාලකයා සහාය දිය යුතු නැත. කන්ද උඩරට බෞද්ධ විහාරස්ථාන සතු ඉඩම්වල කිතුල් ගස් මදින්නෝ පන්සලේ කොටස පැණි හකුරු කර භාර දෙති. තම කොටස රා බවට පත් කරති. පැසුණ රා මුට්ටිය එල්ලා ගෙන පන්සල් වත්ත හරහා ගස් මදින්නා හවසට යන ගමන හාමුදුරුවෝ හෝ දායකයෝ හෝ තහනම් නොකරති. ඇදහිලි මුල්කොට සිරිතට හෝ පොදු මාර්ග අයිතිය අහෝසි කිරීම නීත්‍යනුකූල නැත. ප්රභාකරන් හෝ මහින්ද රාජපක්ෂ හෝ ලංකාවේ නොඉපදුණා නම් ඒ26 පාර වැසෙන්නේ නැත. මහනුවර නගරයේ සල්ෆර් ඩයොක්සයිඞ් ප්‍රමාණය 50% සිට 70% තෙක් ඉහළ යන්නේ නැත. ශී‍්‍ර දළදා මාලිගා පරිශ්‍රය වතිකානුව හෝ මක්කමට සමාන කිරීම ඒ26 පාර විවෘත කරනවාට සහ ප්රභාකරන්ගේ සහ මහින්දගේ ක්‍රමය පවත්වාගෙන යාමට වඩා බරපතළය. පාරක් වෙනුවෙන් මේ කරන්නේ කුමක්ද? එය අසමසම බුද්ධ ඉගැන්වීමට, බෞද්ධ සංස්කෘතියට එක`ග විය හැකිද? මේ සියලූ කරුණු සලකන කල්හි ඒ26 පාර වැසීම වැරදි ආගමික පූර්වාදර්ශයක ආරම්භයකි. වතිකානු, මක්කම තර්කය ශී‍්‍ර දළදා මාලිගාවට කරන නිගාවකි. ඒ අනුව ඒ26 පාර නිසා බුදුදහම තවදුරටත් අසමසම නැත. ඒ26 පාර වැසීමට සමගාමීව, වෙනත් ලබ්ධිකයන් තවත් සිද්ධස්ථානයක් වෙනුවෙන් මෙවැනි ඉල්ලීමක් කළොත්? එය පිරිත් කියා පාරේ සැතපී නතර කළ හැකි වේද? එදාට තවත් 1915කට රටම බිලි වෙනු ඇත.
මහින්ද දරුවන් වෙනුවෙන් අස්ගිරි පන්සල නොතකා රේස් පැද්දේය. එහෙත් මහින්ද එළවන සටනේදී අස්ගිරිය සිටියේ කොහේද යන්න මහනුවර ජනතාව දනිති. භික්ෂූහු උජුපටිපන්න වෙති. ඒ අර්ථයෙන් මේ අස්ගිරි විරෝධය දේශපාලනයකි. එය භික්ෂු විරෝධයක් නම් මහින්දට රේස් පදින්න දෙන්නේත් නැත. පොන්සේකා හිරේ යැවීමට, අගවිනිසුරුවරිය නෙරපීමට ඉඩදෙන්නේ නැත. උජුපටිපන්න භික්ෂූහු පාරේ සැතපෙනවාමය. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළ එදවස අස්ගිරි පාර්ශ්වය සිය උජුපටිපන්නභාවය පළ කළේ ජේ.ආර්.ටය. මේ ඉතිහාසය නැවත කියවන විට, තනිකරම දේශපාලන පෙනීසිටීමකි. පාරේ රේස් පැද්ද ඒ26 පාර වැසූ මහින්ද එළවා දැමූ සිවිල් බලය අස්ගිරියට වඩා ශක්තිමත් බව පාලකයාට නොපෙනේද? පාර අරින්න කියන්නේ මහින්ද ගෙදර යැවූ ඒ සිවිල් ජනතාවය. මෛත්‍රීපාල පාර නොඅරින්නේ අස්ගිරියට බයේ නම් මෛත්‍රී තවම සිවිල් බලය හඳුනාගෙන නැත. සදාකාලිකව බලයේ සිටීමට කිසිදු නායකයෙකුට බැරිය. නායකයන් භාරගත් වැඩ ඉටුකළ යුතුවේ. මෛත්රීපාලගේ අනාගතය තීරණය කරන්නේ අස්ගිරි පන්සල නොවේ. ඔහු පත්කළ ජනතාව විසිනි. ඒ නිසා ඔහු වහා ඒ26 පාර විවෘත කළ යුතුය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment