විගණකාධිපති දෙපාර්තමේන්තුවේ
විශේෂ විමර්ශන වාර්තාව එළිදැක්වීමෙන්
ඉන්ද්‍රජිත් සුබසිංහ
රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 2006-2011 කාලය තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සඳහන් පිටු 10 කින් යුතු වාර්තාව එලිදැක්වීමත් සමගින් ඉකුත් පරිපාලනයේ බලධාරීන් සහ ඔවුන්ගේ සහචරයන් රැසක් දැඩි කැළඹීමට පත්ව ඇති බව 'දිවයින'ට වාර්තා වේ.
මෙරට පාපන්දුවේ ඉටු දෙවියකු ලෙසින් පෙනී සිටිමින් සර්ව බලධාරියකු ලෙස කටයුතු කළ හිටපු පාපන්දු සභාපතිවරයෙක් පාපන්දු සම්මේලනයට ලැබුණු රුපියල් කෝටි ගණනක් වන විදේශ මුදල් සිය පෞද්ගලික ගිණුම්වලට බැරකරගත් අවස්ථා රැසක් සහ එවක සිටි ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඒ සඳහා ආධාර අනුබල දී ඇති ආකාරයත්, හිටපු මුදල් අධ්යක්ෂවරියක් විසින් එම ගනුදෙනු සඳහා බැංකු නොමග යෑවීම පිණිස ව්‍යාජ තොරතුරු ලබාදී ඇති අවස්ථා ආදියත් සවිස්තරව මෙම වාර්තාවේ සඳහන් බව සැලවේ.
වෙනත් පාපන්දු ලීග වල ගිණුම් ලෙසින් සඳහන් කර සිය පෞද්ගලික ගිණුම් වෙත මුදල් බැරකර තිබීම, ඒ සඳහා වංචාසහගත ලෙසින් ලිපි ඉදිරිපත් කර සිටීම, හිටපු භාණ්ඩාගාරිකවරුන්ගේ අත්සන් ස්කෑන් කර අදාළ මුදල් ලබාගැනීම් සඳහා කූට ලෙස යොදාගැනීම ආදිය සමග විදේශ විනිමය වංචා ගණයට වැටෙන ගනුදෙනු රැසක් ගැනද එම වාර්තාවේ අඩංගු බව කියවේ.
මේ අතර කළුතර ප්‍රදේශයේ සුනාමි නිවාස ව්‍යාපෘතියක් සඳහා ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන ගණනක් වැරදි ලෙස පරිහරණය කර ඇති අවස්ථාවක් මෙන්ම මෙරට ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජයකට ලබාදුන් මුදලක් ලෙසින් හඟවා තවත් මිලියන ගණනක් අයුතු ලෙස යොදාගැනීමක්ද ඇතුළත් වේ. තවද සම්මේලනයේ ගිණුමේ මිලියන ගණනක මුදලක් තිබියදී, මුදල් නොමැති බව හඟවා විශාල ණය මුදලක් ලබාගැනීමක් සම්බන්ධයෙන්ද තොරතුරු මෙහි වේ.
මෙම වාර්තාවෙන් චූදිතයන් බවට පත්කර ඇති හිටපු සභාපතිවරයා සහ ප්‍රධාන විධායකවරයා අදාළ ගනුදෙනු රැසක් මෙහෙයවා ඇත්තේ නීත්‍යනුකූල නොවන ලෙස තනතුරුවල රැඳී සිටිමින් බවද මෙම වාර්තාවේ විශේෂයෙන් සඳහන් වීම කැපී පෙනෙයි.
අදාළ වාර්තාව මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර දින 7 ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාර දැනුම් දෙන ලෙසින් ඉල්ලා ඇත. අදාළ විමර්ශන වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයටද ලැබෙන්නට සලස්වා තිබේ.
ඒ අනුව ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදී මෙම වාර්තාව සභාගත කර ඇති අතර එහිදී, විධායක කමිටුවේ සිටින චූදිත නිලධාරීන්ගේ හිතවතුන් විසින් එය වැළැක්වීම සඳහා දැඩි උත්සාහක් ගෙන ඇති බවද විශ්වාසදායක ආරංචිමාර්ගයකින් 'දිවයින'ට සැලවිය.
මේ අතර සමහරෙක් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ ඉතාම සමීප හිතවතෙකු ලෙසින් හඟවමින් "අපි එහෙනම් ඒක නවීන් එක්ක බලාගන්නම්" ලෙසින් පවසද්දී තවත් අයෙක් මෙය අභූත චෝදනාවක් ලෙස පවසමින් එය හකුළාගන්නා ලෙස හැඬූ කඳුළින් ඉල්ලා සිටි බවද වැඩිදුරටත් වාර්තා වේ.
No comments:
Post a Comment