ජනමාධ්‍ය මගින් වාර්තා වන ප්රවෘත්තිවල හැටියට සහ සමාජ ශෝධකයන්ෆයිල් මිටි රැගෙන අල්ලස් කොමිසමට සහ සී. අයි. ඩී. යට දිවෙන ආකාරයට, ගිය ආණ්ඩුව තරම් හොරකම් කළ ආණ්ඩුවක් ලෝකයේ කිසිදු රටක තිබුණ බවක් නොපෙනේ. පොල් හොරකමේ සිට අලි හොරකම දක්වා සියලු හොරකම් ඒ ආණ්ඩුව විසින් කර ඇත.· එසේ නම් ඒ ආණ්ඩුව කළේ හොරකම් විතරමද? රටේ සංවර්ධන කටයුතු කළේ තමිල්නාඩු ආණ්ඩුවද? පාරවල් හැදුවේ සියඹලාණ්ඩුවද? ඉහත සඳහන් ප්‍රශ්න අප නිකම් සිටින විට හිතට නැගෙන ඒවාය.
කොහොම නමුත් අලි හොරකම නම් තදේට ගොස් ඇති බව පෙනෙයි. රටේ තිබෙන ආරංචිවල හැටියට නඩු අහන කට්ටිය ළඟ පවා අලි සිටිති. අලි අයිතිකරුවන්ගේ නම් ලැයිස්තුව බලන විට පෙනී යන්නේ අරලියගහ මණ්ඩලයේ කුරුලු උයන බලා කියාගත් මනුස්සයාගේ සිට ඉහළට තානාන්තර දරන අය ළඟත් අලි සිටින බවය. කුරුලු උයන බලා ගත් මිනිසා ළඟත් අලි සිටියේ නම් සත්තුවත්තේ අලි බලන මිනිසාගේ ගෙදරත් අලි සිටිය යුතුමය. එය න්‍යායකි. එහෙත් වාසනාවට හෝ අවාසනාවට ඒ මිනිහා සතුව ඇත්තේ හෙණ්ඩුව පමණි. අලින්ගේ අයිතිය ගැන පරීක්ෂා කිරීම සඳහා පරිසරවේදීන් විසින් කලබැගෑනි ඇති කරන ලද පසුගිය කාලයේදී එම අයිතිය පිළිබඳ විස්තර අඩංගු අලි තෝම්බුව හෙවත් අලි පොත අස්ථානගත වූ බව එවකට පැවැති ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කීහ. එහෙත් අලුත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු වන වසන්ත සේනානායක කියන පරිදි එම කතාව පල් බොරුවක් වන අතර අලි පොත කිසිදු අතුරු ආන්තරාවක් නැතිව වනජීවී දෙපාර්තමේන්තුවේ අල්මාරියේ තිබෙන බව හෙළිව ඇත. මෙවැනි බොරු කිව් ඇමැතිවරු මහින්ද රාජපක්ෂ අමාරුවේ දැමීමට මූලික වූ අතර එතැනින් නොනැවතී ඔහුගේ පරාජයෙන් පසු ජනාධිපති මෛත්‍රීට පක්ෂපාතීත්වය පළ කළහ. එවැනි සොයිසලා සහ සිල්වලාගෙන් ජනාධිපතිතුමා ප්‍රවේසම් විය යුතුය. පහත සඳහන් ක්‍රමය කොතරම් දුරට සාධාරණදැයි බලන්න. සිවිල් සහ රාජ්‍ය බලය නැති අලිකාරයකුගේ වත්තෙහි අලින් සිටින විට එම බලය උපරිමයෙන් ඇති තවත් අලිකාරයෙක්, පළමුවන අලිකාරයාට විරුද්ධව නඩුවක් පටලවයි. එම නඩුව අසන විනිසුරු පළමුවැන්නා වැලිකඩට පටවයි. පසුව සොයා බලන විට එම නඩුකාරයාගේ වත්තෙත් අලියෙක් සිටී. උපතින් අලි අයිතිකාරයකු නොවන නඩුකාරයාගේ වත්තේ බැඳ සිටින අලියාගේ විස්තර සෙවීමට කවුරුවත් සූදානම් නැත. මන්ද, නඩුකාරයා කවර හෝ නඩුවක් පටලවා තමන් හිරේ යවන්නට ඉඩ තිබෙන බව මිනිසුන් දන්නා බැවිණි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පන්සල්වල සහ ගෙවල් පිටුපස්සේ බැඳ තිබෙන අලින් දෙස බලන විට පෙනී යන්නේ මේ ළඟ අහල පහල අලින් ප්‍රසූත කරන රෝහලක් තිබෙන බවය. මෙය රෝහලකට වඩා අලින් බිහි කරන යන්ත්‍රාගාරයකට සමාන කළ හැක්කේ එතරම් විශාල අලුත උපන් අලි පැටවුන් ඒ පන්සල් සහ ගෙවතුවල සිටින බැවිනි. ඇවිදීමට ඉඩකඩ නැතිකම, නිසි ලෙස ස්නානය කිරීමට නොහැකිකම යන කාරණා නිසා රෝගීව මියයන අලි ඇතුන් පන්සල් පිටුපස සහ ගෙවල් පිටුපස සිටින බව මතක තබා ගත යුතුය. මේ අසාධාරණයට විරුද්ධව සටන් කිරීමට හැකි නම් මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගේ හොඳම මුණුපුරා වනු ඇත්තේ නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායකය.
No comments:
Post a Comment