මෛත‍්‍රී දේශපාලකයෙක්ද? නායකයෙක්ද?
|
මනුවර්ණගේ සතිය |
බොහෝ දෙනෙක් ම ගෙ න් අහනවා, අවුරුදු පහකට පස්සේ මගේ තත්ත්වය මොකක්ද කියලා. මම බලන්නේ අවුරුදු පහකට පස්සේ මගේ තත්ත්වය ගැන නෙවෙයි. රටේ තත්ත්වය මොකක්ද කියලායි.’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කීවේ පසුගිය ජනවාරි 8වැනිදා පදවි ප‍්‍රාප්ති නිල උත්සවයේදී සිය කතාව කරමිනි.
2015 ජනවාරි 9වැනිදා සවස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ නිදහස් චතුරස‍්‍රයේ පැවැති ඉතාමත් චාම් හා සරල උත්සවයකදීය. ඒ අවස්ථාවේ පැවැති එම සරල බව, ජනවාරි 8 වෙනස කරන්නට දායකවූ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඉමහත් ආස්වාදජනක එකක් වුණේ, රට අලූත් ගමනක යන්නට සූදානම් වන බව ඉන් ඉඟිකෙරුණු නිසාය. ඊට පෙර මහින්ද රාජපක්‍ෂ පවත්වාගෙන ගිය අතින් ණයවී මඟුල් කිරීමේ පිළිවෙත පිටුදකින්නට මේ ජනතාවට වුවමනා වී තිබුණු නිසාය. එහෙත්, ඉන් වසරකට පසුව ඒ තත්ත්වය නරක පැත්තට වෙනස් වී තිබෙන බව 2016 ජනපති පදවි ප‍්‍රාප්ති සැමරුම් උත්සව මාලාව දෙස බලන විට පෙනෙයි.
‘පදවි ප‍්‍රාප්තිය’ යන්නම ජනාධිපති සිරිසේනගේ පාලන කාලයට ගැළපෙන්නක් නොවේ. පදවි ප‍්‍රාප්ති පැවැත්වූවෝ රජවරුය. තමන් විසින් ඒ රාජ පරම්පරාව ඉදිරියටගෙන යනවායයි සිතූ ලංකාවේ විධායක ජනාධිපතිවරු, තමන් මහජන ධුරයකට පත්වීමේ අවස්ථාවද ‘පදවි ප‍්‍රාප්තිය’ක් බවට උත්කර්ෂයට නංවා සිංහාසනාරූඪ වීමට සමාන තත්ත්වයක් ප‍්‍රදර්ශනය කළහ. ඒ වැඩවසම් සම්ප‍්‍රදායද 2015 ජනවාරි 8වැනිදායින් පසු අවසන්වනු දකින්නට මේ රටේ පුරවැසියෝ කැමැත්තෙන් සිටියහ. එහෙත් සිරිසේන වටේ සිටින පරණ වැඩවසම් පාලනයට ගතින් මෙන්ම සිතින්ද හුරුවූ නිලධාරීන්ට හා හිතවතුන්ට පදවි ප‍්‍රාප්තියට එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට ගැළපෙන වචනයක් සොයා ගන්නටවත් නොහැකි වී තිබෙන බවයි පෙනෙන්නේ.
ජනවාරි 8වැනිදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති පදවි ප‍්‍රාප්ති නිල උත්සවය එවැනි දෙයකට නොගැළපෙන තරමේ ඕලාරික හා අවිධිමත් එකක් විය. ශාලාවේ අසුන් පැනවීමේදී පවා ප‍්‍රමුඛත්වය ලැබී තිබුණේ ජනවාරි 8 වෙනස කරන්නට දායකවූවන්ට නොව වෙනසක් නොකර, හිටපු රජතුමා තවදුරටත් සිංහාසනයේ තබාගැනීමට දායකවූ පිරිසටය. උදාහරණයකට පසුගිය කාලය පුරාම රාජපක්‍ෂවරුන්ට ඉතසිතින් සේවය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය ප‍්‍රධාන ශාලාවේ දෙවැනි පේළියේ අසුන්ගෙන සිටින විට, ජනවාරි 8 වෙනස ඇතිකරන්නට ඊට බොහෝ කාලයකට පෙර සිට පටන්ගත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුට අසුන් පනවා තිබුණේ ඈත බැල්කනියේ රාජ්‍ය ආයතනවල ලිපිකරු කාර්ය මණ්ඩලය අතරය. වේදිකාවේ ගීත ගයන්නට මහින්ද සමග නැගිටිමු ව්‍යාපෘතියේ සිටි වන්දිභට්ට ගායක පිරිසෙන් කොටසක්ද මුදල් ගෙවා කැඳවා තිබිණි. මහින්ද රාජපක්‍ෂ රූපවාහිනියේ දකින විට අන්න අපේ රජ්ජුරුවෝයි කියා තම දුව කියන බව ඒ කාලයේ ප‍්‍රසිද්ධියේ කී ගායකයෙක්ද ඒ වේදිකාවේ ගී ගැයීය. වේදිකාව සකසා තිබුණේ පරණ ගල්කණු සඳකඩ පහණවල ආකෘතියට, පාසල් කලා උළෙලක වේදිකා සැරසීම්වල ආකාරයටය. අතීතකාමී ගල්කණු හා සිංහ රූපවලින් වෙන්වී නවීන චාම් යුගයකට එන්නට තවමත් මේ පිරිසට නොහැකිව තිබේ. ජනාධිපති සිරිසේනට කොහොම වෙතත්, ඔහු වටා සිටින්නන්ට ජනවාරි 8 වෙනසක් ඇතිවීදැ’යි තේරුම්ගන්නටවත් බැරිවී තිබෙන සෙයකි.
උත්සවයේ තිබුණු එකම වැදගත් කතාව හිටපු ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල්ක‍්‍රිෂ්ණ ගාන්ධි කළ කතාව පමණකි. ජනාධිපති සිරිසේනගේ කතාවද සමස්තයක් ලෙස එවැනි අවස්ථාවකට ගැළපෙන ගැඹුරු දර්ශනයකින් යුක්තවූවක් නොවීය. තම පාලනය ආරම්භ වී වසරක් ගතවන දිනය වන විට ඒ වසරේ ධන හා ඍණ ලක්‍ෂණ දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමකුත්, අනාගතය දෙස බැ?රුම් ප‍්‍රක්‍ෂෙපණයකුත් සිදුවිය යුතුව තිබුණු නමුත් ඔහුගේ කතාව සුපුරුදු අවිධිමත් අදහස් දැක්වීමකට පමණක් කනගාටුදායක ලෙස සීමාවිය. ශාලාවෙන් පිටත පහුගිය අවුරුද්ද ඇතුළත මෛත‍්‍රීපාල සිරිසේනගේ ඡුායාරූප ඇතුළත් ප‍්‍රදර්ශනයක් පැවැත්විණි. මහින්ද රාජපක්‍ෂගේ නිල ඡුායාරූප ශිල්පී දැන් මෛත‍්‍රීපාලගේද නිල ඡුායාරූප ශිල්පියා වන සුදත් සිල්වාගේ වැඩක් වූ එය දුටු පැමිණ සිටි ජනතාවට තේරුම් ගියේ සම්පූර්ණ යෙන්ම මහින්ද රාජපක්‍ෂ ගණයේ පුහු පිම්බීමක් හැටියටය. මේවා මෛත‍්‍රීපාලගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන දේ නොවේ. මේ පරස්පරයන් සලකුණු කළේ රාජ්‍ය නායකයකුට උත්සවයක් පවත්වන්නට, ඡුායාරූප ප‍්‍රදර්ශනයක් පවත්වන්නට, තමන් කැමතිවුන් ළං කරගන්නට නිදහසක් නැතිද යන ප‍්‍රශ්නය නැගිය හැකි බව දැනගෙනය. එහෙත්, පසුගිය ජනවාරි 8වැනිදා මෛත‍්‍රී ඒ තත්ත්වයට පත්කළ ලක්‍ෂ 62ක් වූ ජනතාවක් මේ කිසිවක් ඔහු වැන්නකුගෙන් බලාපොරොත්තු නොවන බව කියන්නටය.
ජනතාව බලා පොරොත්තු වුණු දේ, ලිපිය ආරම්භයේදීම උපුටා දක්වා ඇති, මේ උත්සවයේදී මෛත‍්‍රී කළ කතාවේ කොටසෙන් කියැවෙයි. සිය අවිධිමත් කතාව තුළ ජනාධිපති සිරිසේන දැක්වූ මේ අදහස දියුණු නායකයකුගේ අදහසකි. එහෙත් ඒ අදහස වචනයට සීමා නොවී ක‍්‍රියාවට නැංවෙනු දකින්නට ජනවාරි 8වැනිදා වෙනසක් කළ පොදු මිනිසුන්ට අවශ්‍යය.
මෛත‍්‍රීට හිමිව ඇත්තේ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවකි. ඒ ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කළ යුත්තේ සමස්තයක් හැටියටම රට වෙනස් කරන්නටය. ඒ සඳහා වූ පැහැදිලි ජනවරමක්ද, ඒ වෙනසට හැකි උපරිමයෙන් දායකවන්නට කැමති අවදිමත් මහජනතාවක්ද ඔහු වටා සිටිති.
යුද්ධය අවසන්කිරීම නිසා මහින්ද රාජපක්‍ෂටද එවැනි වැදගත් අවස්ථාවක් හිමිවූ බවත් ඔහු විසින් එය අපතේ හරින ලද බවත් ජනප‍්‍රිය ප‍්‍රවාදයයි. එහෙත්, යුද්ධයේ තර්කනය විසින් එවැනි ඇත්ත අවස්ථාවක් මහින්ද රාජපක්‍ෂට පිරිනොනැමුණු බව කිවයුතුය. වෙනත් විධියකට කිවහොත්, වෙනසක් කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්‍ෂගෙන් ගිලිහී ගියේ යුද්ධය කිරීම, යුද ජයග‍්‍රහණය නිසාමය. යුද ජයග‍්‍රහණයකින් පසු ඉතිරිවන්නේ ජයග‍්‍රාහකයකු හා පරාජිතයකු පමණකි. දරුණු ලෙස දෙපැත්තට බෙදුණු සමාජයකි. ලද ජය ගැන සව්දිය පුරනවා හැරෙන්නට වෙන කිසිවක් කරන්නට පශ්චාත් යුද ජයග‍්‍රහණ කාලයේදී ජයග‍්‍රාහකයාට ඉඩක් ලැබෙන්නේ නැත. ඔහුට ඒ සඳහා පෞද්ගලික කැමැත්තක් තිබෙනවා වුවත්, ඒ අවස්ථාවේ පවතින දේශපාලන කොන්දේසි විසින් ඒ ඉඩ සලසන්නේ නැත. මහින්ද රාජපක්‍ෂට වුණේද එයමය. යුද්ධය ජයග‍්‍රහණය කිරීම සඳහා ඔහු විසින් එකතුකරගන්නා ලද ජාතිකවාදී භික්‍ෂූන් ඇතුළු සියලූ ප‍්‍රතිගාමී බලවේගවල සිරකරුවකු බවට ඔහු යුද්ධයෙන් පසුද පත්විය. එය නියතයකි. ඉන් ගැලවෙන්නට රාජපක්‍ෂටද කැමැත්තක් වුවමනාවක් තිබුණේ නැති. ඔහු සිතුවේ ස්වකැමැත්තෙන්ම ඒ කොන්දේසිවල කරවටක් ගිලී තමන්ගේ යාවජීව රජකම තහවුරු කරගන්නටය. කල දුටු කල වල ඉහ ගන්නටය. ඒ නිසා පශ්චාත් යුද සමයේ රට වෙනස්කරන්නට හැකියා වක් හා අවස්ථාවක් මහින්දට තිබුණේය යන්න සත්‍යයක් නොවේ. අංශු මාත‍්‍රයක හෝ එවැනි ඉඩක් තිබුණේ වුණත් ඉන් ප‍්‍රයෝජනයක් ගන්නට තරම් සිහිබුද්ධියක්ද මහින්දට නොතිබුණේය. අනෙක් පැත්තෙන් පරාජයට පත්වූ පාර්ශ්වය නැවතත් වහාම ප‍්‍රධාන ප‍්‍රවාහයට කැඳවාගැනීමද ඒ අවස්ථාවේ අසීරුය. පරාජයේ තුවාලවලින් පීඩාවට පත්වූ මනසක් සහ ශරීරයක් සහිත ඒ පාර්ශ්වය සිය පසමිතුරු පාර්ශ්වය සමග සියලූ පීඩාවන් අමතක කොට වහාම එකතුවේය සිතන්නට කිසිදු ඉඩක් නැත. මේ නිසා පශ්චාත් යුද සමය එක්තරා ප‍්‍රමාණයකට කුණු වූ සමාජ තත්ත්වයකි. එය විසින්ම සමාජ ප‍්‍රතිසංස්කරණවලට ඉඩක් තබනු ලැබුවේ නැත.
රටේ අතළොස්සක් යුද්ධයට විරුද්ධවූ එක් හේතුවකි ඒ තත්ත්වය. යුද්ධයෙන් ඇතිකරන විනාශය පමණක් නොව පශ්චාත් යුද සමයේදී සමාජ ප‍්‍රතිසංස්කරණවලට තර්කානුකූල ඉඩක් නැතිවීම ද සලකා බලා යුද්ධයට විරුද්ධ විය යුතුව තිබුණි. එනිසා යුද්ධයට හැකි තරම් ආ වඩා යුද්ධයෙන් පසු සමාජ ප‍්‍රතිසංස්කරණවලට අවස්ථාවක් තිබුණියැ’යි බලාපොරොත්තු වීම සිහිනයකි. එය තමන් විසින්ම මවන ලද ඉබ්බකුගෙන් පසුව පිහාටු ඉල්ලීමක් වැනිය. මහින්ද රාජපක්‍ෂගෙන් සිදුවුණු සේවය වුණේ, මේ පශ්චාත් යුද සමාජයේ කුණුවීම තමාගේ දායකත්වයෙන් හැකි උපරිම තත්ත්වයකට ගෙනඒමය. වෙනසක් නොකොට රටට තවදුරටත් ඒ ගමන යන්නට බැරි බව දැනුවත් ජනතාවට වටහාගන්නට හැකිවුණේ මහින්ද රාජපක්‍ෂගේ ඒ වැඩපිළිවෙළ නිසාය. ඔහු පරාජය කළ යුතුම විය. එය සිදුවුණු පසු නැවතත් මහින්ද රාජපක්‍ෂ පාලනයක් සඳහා කිසිම අවස්ථාවක් රටේ නැති බව ස්ථිරය. එනිසා, මහින්ද රාජපක්‍ෂට උරුම දේශපාලනයෙන් බැසයෑම මිස අන් කිසිවක් නොවේ.
ඒ ආකාරයට බලන විට මෛත‍්‍රීපාල සිරිසේනට හිමිව ඇත්තේ, ඉතිහාසය විසින් පවරනු ලැබූ ප‍්‍රතිසංස්කරණ කාර්ය භාරයයි. හරියට හෝ වැරදියට හෝ දැන් යුද්ධයක් නැත. සමාජයේ එදිනෙදා ජනජීවිතයේ සාමකාමී පැවැත්මට බලවත් සේ හානිකරන කිසිම බරපතළ සිදුවීමක්ද නැත. ජාත්‍යන්තර වශයෙන්ද රට තිබෙන්නේ යහපත් ප‍්‍රතිරූපයකය. ඒ සියල්ලටමත් වඩා වැදගත් සාධකය වනුයේ සමාජ ප‍්‍රතිසංස්කරණ ඉල්ලන බහුතර ජනතාවක් රටේ සිටීමය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ වටා සිටි අමනොඥ, අවස්ථාවාදී, පසුගාමී හා අන්තවාදී පිරිස මෙන් මහජන දේපළ කොල්ලකෑ බඩජාරි අන්තේ වාසිකයෝ නොවෙති. මේ පිරිස අතර රටේ විශිෂ්ට ගණයේ බුද්ධිමත්හුද, රාජ්‍ය තාන්ත‍්‍රිකයෝද, මත නිපදවන්නෝද, වෘත්තික යෝද, කලාකරුවෝද, ඉතාමත් දැනුවත් සාමාන්‍ය ජනතාවක්ද සිටිති. ඔවුන්ට ඇත්තේ පෞද්ගලි කත්වයෙන් තොර එකම පොදු වුවමනාවකි. ඒ අලූත් රටක් යන්නය. ඉතින්, මෛත‍්‍රී මේ සියලූ යහසාධක ප‍්‍රයෝජනයට ගතයුත්තේ ඒ ලොකු ඉල්ලීම ඉටුකිරීමටය. ඒ සඳහා ලොකුවට සිතිය යුතුය. විශාල ලෙස වැඩ කළ යුතුය. තමන්ගේ සමාජ ආර්ථික දේශපාලන දැක්ම හැකි තරම් පුළුල් කරගත යුතුය. ප‍්‍රතිසංස්කරණ මිතුරු බලවේග සමග එක්ව ගමන් කිරීමද ප‍්‍රතිසංස්කරණ හතුරු බලවේගවල බලපෑම්වලට යටත් නොවීමද එහිදී අත්‍යවශ්‍යය. ගතානුගතික අතීතකාමී හා ඇතුළට හැරුණු මනසකින් ඒ අභියෝගය ජයගත හැකි නොවේ. කෙටියෙන් කිවහොත් මෛත‍්‍රීට අවශ්‍ය වන්නේ කවචයෙන් පිටතට පැමිණ නැවත හැම දෙයක් ගැනම ආපසු බැලීමකි. මේ වසරක කාලය ඒ සඳහා හොඳ මිනුම් දණ්ඩකි.
දැනටත් යම් යම් හොඳ දේ ඉටුවී නැතිවා නොවේ. එහෙත් දැනුවත් ජනතාවගේ කනස්සල්ල වන්නේ එය තිබිය යුතු වේගයෙන් හා වුවමනාවකින් සිදුනොවන බවය. ඒ අතර, පීලිපැනීම්ද බහුල බවය.
මෛත‍්‍රී සිය ප‍්‍රතිරූපය නගාගත යුත්තේ, පුහු සරුවපිත්තල උත්සව පැවැත්වීමෙන්වත්, ජාතිවාදී පත්තරකාරයන් තමන්ගේ මාධ්‍ය උපදේශකයන් බවට පත්කොටගෙන ඔවුන් ලවා සතියකට එක පතෝල ගණයේ ලිපියක් ලියවාගෙනවත්, ගහක් ගලක් පන්සලක් ගානේ විවෘතකිරීම්වලට යමින් ඒවා ගැන රූපවාහිනී ප‍්‍රවෘත්තිවල ‘පළමු පුරවැසියා’ ශීර්ෂය යටතේ දර්ශන රිංගවා ගැනීමෙන්වත් නොවේ. තමාට පැවරී ඇති ඓතිහාසික නායක භූමිකාවට නිසි ලෙස සමවැදීමෙනි. ඒ සඳහා සහාය ගැනීමට, අදහස් හුවමාරුවට උචිත පුරවැසි සමාජයක්ද රටේ තිබේ. මෛත‍්‍රී පෙන්නුම් කළ යුත්තේ තමා හුදු දේශපාලකයකු නොව දුරදක්නා නායකයකු බවය.
No comments:
Post a Comment