වික්ටර් අයිවන් |
වික්ටර් අයිවන් විසිනි
ජනාධිපතිවරණයට තරග කළ විරුද්ධ පක්ෂ
එකතුව ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින්
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතුව තිබුණි. එසේ නම් හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂට ඉතිරි වී තිබූ මහජන බලයද විශාල ප‍්‍රමාණයකට අහිමි වන්නේය. අනතුරුව
නව පක්ෂ එකතුව පාර්ලිමේන්තු බලයද හිමිකර ගනිමින් ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වඩා
විධිමත් ලෙස හා ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් තත්ත්වයක් දිනාගැනීමට
හැකිවන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ජයග‍්‍රාහී දේශපාලන එකතුව පුරවැසි ව්‍යාපාරයක් තනන
ලද මනෝරාජික ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් විචාරයකින් තොරව තමන්ගේ ඉදිරි වැඩසටහන බවට
පත්කර ගැනීමෙන් පහසුවෙන් ලිහාගත නොහැකි අවුලකට හසුවූයේය. එම පුරවැසි ව්‍යාපාරයේ
තක්සේරුව වූයේ ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය කිරීමට පොදු අපේක්ෂකයා සමත් වුවහොත්
පාර්ලිමේන්තු බලය තිබෙන්නේ ශ‍්‍රීලනිපයට වුවත් ජනාධිපතික‍්‍රමය අහෝසි කොට 17 වැනි සංශෝධනයේ එන ස්වාධීන කොමිෂන් සභා නැවත
බලාත්මක කිරීමට නියත වශයෙන්ම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ආධාර කරනු ඇති බවය. එය
මනෝරාජික තක්සේරුවක් වන බව මුලසිටම මගේ මතය විය. ශ‍්‍රීලනිපයට තිබෙන පාර්ලිමේන්තු
බලය මත විශ්වාසය නොතබා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට ගොස්
දිනා ගන්නා එම ජයග‍්‍රහණයෙන් පසු සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවට විධිමත්
ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත යුතු බව මා දරන ලද මතය විය. ඒ මොහොතේ
මගේ මතය පිළිගැනීමට හේතුවූයේ නැතත් ඒ ගැන වන මගේ ප‍්‍රසිද්ධ විවේචනය නිවැරදි බව
ජයග‍්‍රහණයෙන් පසු කරන ලද අසාර්ථක අත්හදා බැලීම්වලින් පසුව සනාථ වී තිබෙන්නේයැ’යි කිව හැකිය.
දින සීයේ වැඩසටහනේ සඳහන්ව තිබෙන
ආකාරයටම නොවූවත් වෙසක් උත්සවයෙන් පසු මැයි 5 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතය. බොහෝ විට මැතිවරණයට
පෙර 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ඉඩ තිබේ.
එහෙත් එය මහජනයාගේ දේශපාලන අපේක්ෂා සම්පූර්ණ කෙරෙන විධිමත් ප‍්‍රතිසංස්කරණයක් ලෙස
සැලකිය නොහැකිය. ඊට අතිරේකව තොරතුරු පනතද සම්මතවීමට ඉඩ තිබේ. එහෙත් මැතිවරණයට පෙර
මැතිවරණ ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවක් පෙනෙන්නට නැත. අගමැතිවරයාගේ මතය වී
තිබෙන්නේ මැතිවරණයෙන් පසු විධිමත් ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත යුතු
බවය. එයින්ද පෙනෙන්නේ සමස්ත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අර්ථ විරහිත තත්ත්වයක පවත්නා
බවය.
නිදහසේ උදාව
සිදුකරන්නට ගිය දේවල නොපැසුණු බවක් හා
ව්‍යාකූලභාවයක් ඇතත්, ජනාධිපතිවරණයේදී මෛත‍්‍රී ලබාගත් ජයග‍්‍රහණය
තුළ රටේ ගොඩනැගී තිබෙන තත්ත්වය පෙර තිබුණු මහින්ද පාලනය යටතේ තිබුණු තත්ත්වයට වඩා
යහපත් බවද කිව යුතුය. මහජන නිදහසේ විශාල වර්ධනයක් පෙනෙන්නට තිබෙන අතර රාජ්‍ය
පාලනයට අදාළ නාස්තියේ, දූෂණයේ, බොරු ශෝභනයේ හා උද්දච්චභාවයේ කැපී පෙනෙන අඩුවක් ඇතිවී තිබෙන බවද
පැහැදිලිව පෙනෙන්නට තිබේ.
මහින්දගේ කාලයේ නොතිබුණු ලොකු නිදහසක්
රටේ ජනතාව භුක්ති විඳින බව පැහැදිලිව දැකිය හැකිය. මීට පෙර ජනතාව අතර පැවති
සැඟවුණු බිය දැන් ඇත්තේම නැති තරම්ය. ජනතාව කිසිදු බියකින් තොරව තිබුණු මහින්දගේ
පාලනය පමණක් නොව තිබෙන මෛත‍්‍රී පාලනයද පතුරු ගසති. මහින්ද නැවත කරළියට කැන්දාගෙන
ඒමට සිහින දකින ප‍්‍රාදේශීය මට්ටමේ මහින්දගේ ආධාරකරුවන්ද කිසිදු බියකින් තොරව ඒ
කටයුතුවල උද්යෝගීමත්ව නිරත වී සිටින ආකාරයද හොඳින් දැකිය හැකිය. කතරගම දෙවියන්
හිමිකරගෙන සිටින තත්ත්වය දැන් මහින්ද හිමිකර ගනිමින් සිටින බවක්ද පෙනෙන්නට තිබේ.
මහින්ද වන්දනාවේ යන බැතිමතුන් ඒ දේ කරන්නේද හොර රහසේ නොව ප‍්‍රසිද්ධියේය. මහින්දට
පක්ෂපාත රූපවාහිනී නාලිකා හා ජනමාධ්‍ය කිසිදු බියකින් තොරව සිය අරමුණු වෙනුවෙන්
පෙනී සිටින බවක්ද දැකිය හැකිය. මහින්දගේ පාලන කාලයේ රට පුරා ක‍්‍රියාත්මක වූ ඔත්තු
සේවා ජාලයක් තිබුණි. ඒවාහි ප‍්‍රධාන අවධානය යොමුවී තිබුණේ ආණ්ඩු විරෝධී ක‍්‍රියාකාරීන්
ගැනය. ජාතික ආරක්ෂාවේ නාමයෙන් දුරකතනවලට හොරෙන් සවන් දෙන දැවැන්ත වැඩසටහනක්ද ක‍්‍රියාත්මක
විය. ඒ අංශ දෙකේම ක‍්‍රියාකාරීත්වය දැන් නැවතී තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ.
මොන මොන හේතු නිසා හෝ ජනාධිපතිවරයාගේ සහෝදරයකු ඝාතනය කර තිබුණේ ඔහුගේ ඔළුවට එල්ල
කරන ලද පොරෝ පහරකිනි. ඉන්ද පෙනෙන්නේ ජනාධිපති පවුලේ සාමාජිකයන් සඳහා වෙනදා මෙන්
විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක‍්‍රියාත්මක නොවන බවය. පැරණි කාලයේ එවැනි දෙයක් සිදුවන්නට
ගියේ නම් ආරක්ෂකයන් අතින් මැරුම් කන්නට තිබුණේ පොරෝ කාරයාය. අනෙක් අතට මීට පෙර
වැරදිලාවත් ඊට සමාන සිදුවීමක් සිදුවී නම් එම සාහසික ක‍්‍රියාව කළ පුද්ගලයා පමණක්
නොව, ඔහුගේ ගෙවල් දොරවල්ද විනාශවීම අනිවාර්ය
දෙයක්ව තිබුණි. එහෙත් පොරෝකාරයාගේ පවුලේ සාමාජිකයන්ට පහර එල්ල නොවූ අතර ඔහුගේ
ගෙවල් දොරවල් විනාශ කළ බවක්ද අසන්නට නොලැබුණි.
මීට පෙර නිරන්තරයෙන් අසන්නට ලැබුණේ
දේශපාලන බලවතුන් ආරක්ෂක භටයන් හා ඔවුන්ගේ දූ දරුවන් කරන සාහසික ක‍්‍රියා ගැනය. එක්
අවස්ථාවකදී දේශපාලන බලවතකු සමෘද්ධි නිලධාරියකු ප‍්‍රසිද්ධියේ ගස් බැන්දේය. තවත් ප‍්‍රාදේශීය
දේශපාලන බලවතකු වතු අධිකාරිවරයකු නිරුවත් කොට ප‍්‍රසිද්ධියේ මරා දැමීය. තවත් ප‍්‍රාදේශීය
බලවතකු නත්තල් දින රාත‍්‍රියකදී බි‍්‍රතාන්‍ය ජාතික සංචාරකයකු ඝාතනය කොට ඔහුගේ
පෙම්වතිය දූෂණය කළේය. ඒ සමාන කතා ඉඳහිට නොව නිරන්තරයෙන්ම ඒ කාලේ අසන්නට ලැබුණි.
වෙනදා දේශපාලන බලවතුන් මහ පාරේ ගමන් කළේද ආරක්ෂක පරිවාර රථ පිරිවරාගෙන මාර්ග නීති
හෝ වේග නීති නොසලකාය. එම අවලස්සණ තත්ත්වයද දැන් අතීතයට එකතු වූ මතකයක් බවට පත්ව
තිබේ. ජනාධිපති මන්දිරයට හෝ අරලියගහ මන්දිරයට යන්නන්ටද දැන් ශරීර පරීක්ෂාවකට
ලක්වීමෙන් තොරව ඒ තැන්වලට යෑමේ නිදහස ලැබී තිබේ. ඒ සියලූ දේ සංකේතාත්මක වැදගත්කමක්
ඇති වෙනස්කම් ලෙස සැලකිය හැකිය.
සුළු ජාතීන් සම්බන්ධයෙන්ද නිල වශයෙන්
පවත්වාගෙන ගිය අවමන්සහගත සැලකිලි දක්වන ප‍්‍රතිපත්තියේද සැලකිය යුතු වෙනස්කම්
ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. උතුරු නැගෙනහිර පළාත් දෙකේ ආණ්ඩුකාර තනතුරුවල සිටි
හමුදා නිලධාරීන් දෙදෙනා ඉවත් කොට ඒ වෙනුවට සුදුසු සිවිල් නිලධාරීන් දෙදෙනකු
පත්කිරීම, අධි ආරක්ෂක කලාප සඳහා අත්පත් කරගෙන
තිබූ ජනතාවගේ ඉඩම් ක‍්‍රම ක‍්‍රමයෙන් ඒවායේ අයිතිකරුවන්ට පවරා දීම සඳහා ක‍්‍රියාකිරීම,
ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කරන්නට ඉඩදීම
වැනි දේවල් ඔවුන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව විසින් ගෙන තිබෙන යහපත් හා ඉදිරිගාමී
පියවරයන් ලෙස සැලකිය හැකිය.
විදේශ ප‍්‍රතිපත්තිය
විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේද
ඇතිවෙමින් තිබෙන හා ඇති කරමින් තිබෙන වෙනස්කම් යහපත්ය. මීට පෙර ජාත්‍යන්තර තලයේ
ලංකාව තිබුණේ ගිරයකට හසුවූ පුවක් ගෙඩියක තත්ත්වයකය. ලංකාවට එරෙහිව සම්බාධක පනවන්න
ආසන්න තත්ත්වයකය. අපේ රටේ විශේෂ පිහිටීමද සැලකිල්ලට ගත් ප‍්‍රශස්ත විදේශ ප‍්‍රතිපත්තියක්
අපට නොතිබුණි. අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාව සමග අපට තිබුණේ යහපත් සම්බන්ධයක්
නොවේ. අප අපනයනය සඳහා නිපදවන භාණ්ඩවලින් වැඩි කොටසක් මිලදී ගන්නා ඇමරිකාව හා බටහිර
රටවල් සමග තිබුණේද පසමිතුරු සම්බන්ධයකි. චීනය සමග මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තියක
පිහිටා ක‍්‍රියාකරනවා වෙනුවට පවත්වාගෙන ගියේ රටේ පැවැත්ම පරදුවට තබන චීන ගැති ප‍්‍රතිපත්තියකි.
ලෝක ජාතීන්ගේ එකතුව ලෙස සැලකිය හැකි එක්සත් ජාතීන්ගේ සංගමය සමග තිබුණේද යහපත්
සම්බන්ධයක් නොව, පසමිතුරු සම්බන්ධයකි. ඒ සියල්ල නිසා ශ‍්‍රී
ලංකාව ලෝක ප‍්‍රජාව අතර විශ්වාසයට හා ගෞරවයට හේතු නොවූ විශාල ප‍්‍රමාණයකට කොන්
කරනු ලැබූ රටක තත්ත්වයට පත්ව තිබුණේය.
ඒ අයහපත් චිත‍්‍රයේද බොහෝ යහපත්
වෙනස්කම් ඇතිවෙමින් තිබෙන බව දැකිය හැකිය. යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සඳහා
අපට ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය අප නැතිකර ගත්තේ අපේ අඥානකමේ හා උද්දච්චකමේ
තරම ප‍්‍රදර්ශනය කෙරෙන ආකාරයටය. ඒ සහනය අපට අවශ්‍ය නැති බවත් ඒ සහනය නැතිව වුවත්
අපේ අපනයන කර්මාන්ත සාර්ථක ලෙස පවත්වාගෙන යාහැකි ශක්තියක් ඒවාට තිබෙන බව කියමින්
අපේ නායකයන් ගැසූ කයිවාරුවල තරම අපි දනිමු. එහෙත් එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ
ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප‍්‍රධාන කර්මාන්තයක්ව තිබූ ඇඟලූම් කර්මාන්තයේ විශාල
හැකිළීමක් ඇතිවීමය. ඒ නිසා කර්මාන්ත විශාල ගණනක් වැසී ගිය අතර විශාල පිරිසකට රක්ෂා
අහිමි විය.
මානව හිමිකම් විෂයෙහි මහින්ද රාජපක්ෂ
පාලන කාලයේදී පමණක් නොව, ඊට පෙරද අප සිටියේ ඉතාමත් අශීලාචාර
තත්ත්වයකය. ආණ්ඩුව ඉල්ලා සිටින එම සහනය නැවත අපට ලබාගත හැකිවනු ඇත්තේ මානව හිමිකම්වලට
අදාළ ඉතා වැදගත් ප‍්‍රඥප්තීන් තුනක් ලෙස සැලකිය හැකි සිවිල් හා දේශපාලන
අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය
හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය යන ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර
ප‍්‍රඥප්තීන් තුන බලාත්මක කරන තත්ත්වයකට යන්නට අවශ්‍ය කරන දේශපාලන අධිෂ්ඨානයක් ශ‍්‍රී
ලංකාවට තිබේ නම් පමණය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මානව අයිතිවාසිකම් සලකන ලද්දේ
ලංකාවට අදාළ නැති ඉතාමත් භයානක දෙයක් ලෙසය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී
සිටින්නන් සලකන ලද්දේ අවඥාවෙනි. රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ගැන
සිදුකරන ප‍්‍රශ්න කිරීම් සලකන ලද්දේ රට අස්ථාවර කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන
විදේශ කුමන්ත‍්‍රණ ලෙසය.
නිදහස් යුගයේ සිටම අපේ ජාතික නායකයන්ට
මානව අයිතිවාසිකම් පිළිබඳ දැනුමක් හෝ හැඟීමක් නොතිබුණේයැ’යි කිව හැකිය. අපේ පරණ නිදහස් කතිකාව තුළද මානව අයිතිවාසිකම් පිළිබඳ
කතිකාවක් නොතිබුණි. එහෙත් ගාන්ධිගේ ඉන්දියානු කොංග‍්‍රසයට 1936 වනවිටත් (එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ඇතිවී
නොතිබුණු කාලයකදීත්) තමන්ගේම වන මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තියක් තිබුණි. එම ප‍්‍රඥප්තියේ
කෙටුම්පත්කරුවා වූයේ නේරුය. සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පවා මානව හිමිකම්
ඇතුළත් නොවීය. මානව හිමිකම් ගැන සඳහන් වන පළමු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකිය
හැක්කේ 1972 කොල්වින්ගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය.
ඉන්පසු ජේ.ආර්.ගේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඊට වඩා
දියුණු ආකාරයකට මානව අයිතිවාසිකම් ගැන සඳහන් වෙතත්, එහි මානව අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් කර තිබෙන නිර්වචනය ප‍්‍රශස්ත හා
දියුණු තත්ත්වයක තිබෙන්නේයැ’යි කිව නොහැකිය. ඉන් පෙනෙන්නේ අපේ රටේ
මානව අයිතිවාසිකම් කතිකාව බොහෝ ප‍්‍රමාද වී 70 දශකයේදී ආරම්භ වූවක් බවය.
ඇමරිකන් හා ප‍්‍රංශ විප්ලව
ලෝක මට්ටමෙන් ගත් කල මානව හිමිකම්
කථිකාව ප‍්‍රබල ලෙස දේශපාලන කරළියට ගෙනා ආරම්භක ඓතිහාසික සංසිද්ධියක් ලෙස සැලකිය
හැක්කේ 1776දී සිදුවූ ඇමරිකානු විප්ලවය හා 1789දී සිදුවූ ප‍්‍රංශ විප්ලවයයි. මෙම විප්ලව දෙකම
මානව අයිතිවාසිකම් පිළිබඳ නව මානයක් මනුෂ්‍ය වර්ගයාට උරුම කර දුන්නේය. ඇමරිකන් විප්ලවයේ
අයිතිවාසිකම් ප‍්‍රකාශනය අනුව සියලූ මනුෂ්‍යයන් සමාන ලෙස නිමවා තිබෙන අතර
මැවුම්කරු ප‍්‍රදානය කර තිබෙන ජීවිතයට තිබෙන අයිතිය, නිදහසට ඇති අයිතිය හා සංතුෂ්ටිය සොයා යෑමට තිබෙන අයිතිය අහිමි කළ
නොහැකි මානව අයිතීන්ය. මෙම අයිතීන් සාක්ෂාත් කරගැනීම පිණිස මනුෂ්‍යයන් විසින්
ආණ්ඩුවක් පත්කරගනු ලබන අතර ආණ්ඩු කිරීමට බඳුන් වන මිනිසුන් විසින් ලබාදෙන සාධාරණ
බලය ආණ්ඩුවේ ඒකායන බලය වේ. මෙම බලයට පිටුපා යන ඕනෑම ආණ්ඩුවක් නිෂ්ප‍්‍රභ කිරීමේ
පරම අයිතියක් මහජනතාවට තිබෙන්නේය.
ප‍්‍රංශ විප්ලවයද වගන්ති 17කින් යුතු මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තියක් ප‍්‍රකාශයට
පත් කළේය. ඊට අනුව සියලූ මනුෂ්‍යයන් නිදහස් ලෙස උපදින අතර ඒ සියලූ මිනිසුන්ට
නිදහස් ලෙස ජීවත්වීමට, සියලූ අයිතිවාසිකම් සමාන ලෙස භුක්ති
විඳීමට අයිතිය ඇත්තේය. නීතිය සියලූදෙනාගේ පොදු අවශ්‍යතාවන්ගේ ප‍්‍රකාශනයක් වන අතර
සමාව දීමේදී හා දඬුවම් කිරීමේදී නීතිය සියල්ලන්ටම එක සමාන විය යුතුය. වරදකරුවකු
ලෙස නිශ්චිතව ඔප්පු කරන තෙක් අහිංසකයකු ලෙස සැලකුම් ලැබීමට හැම මනුෂ්‍යයකුටම
අයිතියක් ඇත්තේය. ආගම් මතවාද ඇතුළුව ඕනෑම මතවාදයක් දැරීමේ අයිතිය හැම මනුෂ්‍යයකුටම
හිමිය. අනිසි ලෙස පාවිච්චි නොකිරීමේ වගකීමට යටත්ව නිදහසේ කතා කිරීමේ, ලිවීමේ හා ප‍්‍රකාශ කිරීමේ අයිතිය මනුෂ්‍යයන්
සතුය. පුද්ගලික දේපළවලට හිමිකම් කීමේ අයිතිය අනුල්ලංඝනීය වන අතර පුද්ගලික දේපළක්
පොදු කටයුත්තක් සඳහා යොදා ගන්නා විට අයිතිකරුට සාධාරණ වන්දියක් ගෙවිය යුතුය.
භේදයකින් තොරව සියලූ මනුෂ්‍යයන්ට තිබිය
යුතු නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ මෙම විප්ලව දෙකේ ප‍්‍රකාශනයන් සිදුවූයේ එක්දාස්
හත්සිය ගණන්වලදීය. ඒ වනවිට ජාතියක් වශයෙන් අප සිටියේ කොතැනද? සමහරවිට මෙවැනි දියුණු නිදහස් චින්තනයක් කරළියට
ගෙනා ඇමරිකාව හෝ ප‍්‍රංශයට වඩා ඈත අතීතයේදී දියුණු ශිෂ්ටාචාරයක් අපට තිබුණේය.
එහෙත් ශීලාචාරත්වය කරා යන ඓතිහාසික ගමනේදී එම නිශ්චිත කාලවකවානුවේදී චින්තනමය
වශයෙන් අප සිටියේ ඉතා නොදියුණු තත්ත්වයකය. රටේ පැවතියේ වැඩවසම් රාජාණ්ඩු ක‍්‍රමයකි.
රජු තේරී පත්වූයේ උරුමය අනුවය. තිබුණු සමාජ ක‍්‍රමය කුල ක‍්‍රමය මත පදනම් වූ සමාජ
ක‍්‍රමයක් විය. පුද්ගලයකු නිරත විය යුතු වෘත්තීය හා ඔහුගේ උසස් පහත් බව තීරණය කළේ
ජන්ම උරුමයයි. ජන්ම උරුමය අනුව සමාජයේ එක් කොටසක් උසස් ලෙසද, සෙසු සියලූදෙනා පහත් කොටද සැලකුණි. සිංහල
වර්ගයාගේ නූතන චින්තකයන් ලෙස සමහරුන් සලකන ගුණදාස අමරසේකර හා නලින්ද සිල්වා
වර්තමානයේ පළකරන අදහස් මීට ශත වර්ෂ තුනකට පමණ ඇමරිකන් හා ප‍්‍රංශ විප්ලවයන් සිදුවූ
කාලයේ පළවූ අදහස් සමග ගත්විට ඔවුන් ඉන්නේ කොතරම් පසුගාමී නොදියුණු තැනකද යන්න
තේරුම් ගැනීම දුෂ්කර නැත.
මානව අයිතිවාසිකම්
මානව හිමිකම් සංවාදයේ ඊළඟ වැදගත්ම
කතිකාව මතුවන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වී ජගත් ලෝක සංවිධානයක් ඇතිකර ගැනීමත්
සමගය. දෙවන ලෝක යුද්ධය මුළු ලෝකය කෙරෙහිම බලපෑවේය. එම යුද්ධයෙන් මරණයට පත්ව සිටි
අයගේ සංඛ්‍යාව ලක්ෂ 60කි. ජර්මනියේ හිට්ලර්ගේ සාහසික ක‍්‍රියාකලාපය
මෙම යුද්ධය කෙරෙහි බලපෑ ප‍්‍රධානතම හේතුව විය. යුදෙව්වන් හා ජිප්සීන් විනාශ කිරීම
ජර්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වූ අතර ඒ යටතේ මරා දමන ලද බාල තරුණ මහලූ යුදෙව්වන්
හා ජිප්සීන්ගේ සංඛ්‍යාව මිලියන 6ක් පමණ විය. යුද්ධය අවසානයත් සමග නැවත
එවැනි බිහිසුණු අශීලාචාර තත්ත්වයක් ඇතිවීම වළකාගත්තේ කෙසේද යන ප‍්‍රශ්නය බැ?රුම් ලෙස සලකා බලන්නට දෙවැනි ලෝක යුද්ධයෙන් පසු
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඒකරාශි වී සිටි ජාතීන්ට සිදුවිය. එක්සත් ජාතීන්ගේ
සංවිධානය විසින් සම්මත කරගන්නා ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය ඒ සංවාදයේ
ඵලයක් ලෙස ඇති වූවකි.
එය කවර බලවතකු විසින් හෝ එක්සත් ජාතීන්
මත බලහත්කාරයෙන් පටවන ලද දෙයක් නොවන බව කිව යුතුය. එම ප‍්‍රඥප්තිය කෙටුම්පත් කරන
ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිසම විසිනි. රටවල් දහඅටක්
විසින් නම් කරන ලද නියෝජිතයන්ගෙන් කොමිසම සමන්විත විය. ඊට එම සංවිධානයේ නිෂේධ බලය
හිමි කරගෙන සිටි ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට්
සංගමය, මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය හා චීනය යන රටවලට අතිරේකව ඕස්ටේ‍්‍රලියාව,
බෙල්ජියම, බයිලෝ රුසියාව, චිලිය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ලෙබනනය, පැනමාව, පිලිපීනය, යුක්රේනය, උරුගුවේ සහ යුගොස්ලෝවියාව යන රටවල්
ඇතුළත් විය.
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ
සාමාජිකයන් ලෙස ක‍්‍රියා කළේ කොමිසමේ ප‍්‍රථම සභාපතිනිය වූ එලිනෝර් රූස්වෙල්ට්
(යුද්ධය අවසන් කිරීමට ටික කලකට පෙර මියගිය ඇමරිකන් ජනාධිපති ෆ‍්‍රැන්ක්ලින්
රූස්වෙල්ට්ගේ බිරිඳ) කොමිසමේ උප සභාපති ලෙස තේරී පත්වූ අධ්‍යාපනඥයකු හා චීන සංගීත
හා චීන සාහිත්‍ය පිළිබඳ විශාරදයකු වූ පී.සී. වෑන්ග්, කොමිසමේ නිල රපෝර්තුකරු ලෙස තේරී පත්වූ ලෙබනන අරාබි ජාතිකයකු වූ
චාල්ස් මලික්, (ඔහු දර්ශනවාදය පිළිබඳ ආචාර්ය
උපාධිධාරියකු විය.) ඉන්දීය නියෝජිත හංස මේතා (ඇය ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ කැපී
පෙනෙන චරිතයක් වූ අතර නිදහස් ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදනයේ පුරවැසි අයිතීන්
පිළිබඳ උපදේශක කමිටුවේ සාමාජිකයෙකි.) ප‍්‍රංශ නියෝජිත රෙනේ කාසන් (නීතිය පිළිබඳ
මහාචාර්යවරයෙකි. නොබෙල් ත්‍යාග ලාභියෙකි.) කොමිසමේ ලේකම් ලෙස ක‍්‍රියා කළ නීතිය
පිළිබඳ මහාචාර්යවරයකු වූ ජී. හම්ප‍්‍රි ප‍්‍රමුඛ කණ්ඩායමක් එම ලියවිල්ල කෙටුම්පත්
කරන්නන් ලෙස ක‍්‍රියා කළහ.
මුල් කෙටුම්පත් ලියවිල්ල සකස් කෙරුණේ
මහා වාද විවාද මැද්දේය. මුල් කෙටුම්පත සකස් කරගැනීමෙන් පසු මානව හිමිකම් කොමිසම
තුළ එය සම්මත කරගැනීමේදී දීර්ඝ සාකච්ඡුාවන්ට වාද විවාදයකට ලක්වෙමින් මුල්
කෙටුම්පතේ පදවල සමහර වෙනස්කම් ඇතිවිය. ඉන්පසු මහා මණ්ඩලයේදී සම්මත වූයේද දීර්ඝ වාද
විවාදයන්ට ලක්වෙමිනි. (මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය බිහිවීම හා එය
කෙටුම්පත් කිරීමේදී හා සම්මත කරගැනීමේදී ඇතිවූ වාද විවාද අළලා විජයානන්ද ජයවීර විසින්
‘නියත විවරණය’ නමින් ඉතා වැදගත් හා කදිම පොතක් ලියා පළකර තිබෙන අතර එය මානව හිමිකම්
විෂය හදාරන්නන් පමණක් නොව සාමාන්‍ය ජනයාද අවශ්‍යයෙන්ම කියවිය යුතු වැදගත් පොතක්
ලෙස සැලකිය හැකිය. පොත රාවයේ ප‍්‍රකාශනයකි.)
මානව අයිතිවාසිකම පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය
මානව අයිතිවාසිකම්වලට දෙන විශේෂ අර්ථකථනයක් වූවා මිස සිය සාමාජිකයන් කෙරෙහි නෛතික
බැඳීමක් ඇති කරන ලියවිල්ලක් නොවීය. සාමාජික රාජ්‍යයන් කෙරෙහි නෛතික බැඳීමක් ඇති
කරන ලියවිල්ල ලෙස සැලකිය හැක්කේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය බිහිවී
තවත් අවුරුදු ගණනාවකට පසුව ඇතිකර ගන්නා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියයි.
ශ‍්‍රී ලංකාව එම ප‍්‍රඥප්තියට අත්සන් තබන ලද්දේ 1980 ජුනි මස 11 වැනිදාය. ඉන්පසු ශ‍්‍රී ලංකාව එම ප‍්‍රඥප්තියට
අදාළ පළමු විකල්ප ප්‍රොටකෝලයටද 1997
ඔක්තෝබර් 03 වන දින අත්සන් තබන ලදි. ඒ මගින් ශ‍්‍රී
ලංකා ආණ්ඩුව එම ප‍්‍රඥප්තියේ එන මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප‍්‍රවර්ධනයට
අන්තර්ජාතික නීතියෙන් බැඳී සිටී. ඒ අනුව රට තුළ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයවීමකදී
ඒ ගැන සොයා බැලීමේ ප‍්‍රශ්න කිරීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සේ ම සාමාජික
රටවලටද ඇත්තේය.
එසේම මානව හිමිකම් උල්ලංඝනවලදී රටේ
තිබෙන ඉහළම අධිකරණයෙන් (ශ්‍රේෂ්ඨාධි කරණයෙන්) සාධාරණය ඉටුකර ගැනීමට නොහැකි වූ
අවස්ථාවකදී ඒ දුක්ගැනවිල්ල ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කිරීමේ
අයිතිය තනි තනි පුරවැසියන් සතුය. එවැනි පැමිණිල්ලක් විභාගයට ගෙන තීන්දුවක් දීමේ
බලය මානව හිමිකම් කමිටුව සතුවන අතර මානව හිමිකම් කමිටුව එසේ දෙනු ලබන තීරණයන් ක‍්‍රියාත්මක
කිරීමට ආණ්ඩුව බැඳී සිටී.
තෝරා ගතයුතු මග
අපට නැවත ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීමට
අවශ්‍ය නම් හා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ මතුවී තිබෙන ප‍්‍රශ්න විසඳා ගනිමින්
රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන ජාතික අර්බුදයද (මා එය හඳුන්වන්නේ වර්ග, ආගම් හා කුල අර්බුදය ලෙසය. එය මානව හිමිකම්
අර්බුදයක් ලෙසද සැලකිය හැකිය.) විසඳා ගැනීමට අවශ්‍ය නම් රටක් වශයෙන් අප එක්සත්
ජාතීන්ගේ සංවිධානය සමග අත්සන් කර තිබෙන මානව හිමිකම්වලට අදාළ ප‍්‍රඥප්තීන් නිසියාකාරව
ක‍්‍රියාත්මක කරන තැනකට යායුතුය. එය රටේ ගෞරවයට හේතුවනවා මිස රට ලැජ්ජාවට හෝ
නින්දාවට පත්කරන හේතුවක් නොවේ. අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබෙන ආකාරයට පාර්ලිමේන්තු
මැතිවරණයෙන් පසු විධිමත් ලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේ නම් මානව
අයිතිවාසිකම් විධිමත් ලෙස විස්තර කරන හා මානව හිමිකම් උල්ලංඝනයකදී අධිකරණයෙන්
ලබාගත හැකි සහන එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා අපට දකුණු අප‍්‍රිකානු
ව්‍යවස්ථාව ආදර්ශයට ගත හැකිය. මානව හිමිකම් ගැන සංවේදී සමාජයක් ඇතිකර ගැනීමෙන්
පමණක් වුවත් අප මුහුණ දී තිබෙන ලොකුම අර්බුදය ලෙස සැලකිය හැකි වර්ග, ආගම් හා කුල අර්බුදය බොහෝ දුරකට විසඳාගත හැකිය.
සියලූ මිනිසුන්ට භේදයකින් තොරව මනුෂ්‍ය ගෞරවය මනුෂ්‍ය අභිමානය හා සමාන
අයිතිවාසිකම් ලබාදෙන ප‍්‍රතිපත්තියක් මගින් අපට මේ දක්වා ගොඩනගා ගැනීමට නොහැකි වී
තිබෙන සමජාතික සමාජයක් ඇතිකර ගැනීමට හැකිවන්නේය.
අපි දශක තුනකට වැඩි කාලයක්
අශීලාචාරත්වයේ ගල්ගුහාවක කොටුවී සිටි බව තේරුම් ගත යුතුය. එවැනි අශීලාචාර තත්ත්වයක
ඉන්නට සිදුවීම ගැන ජාතියක් වශයෙන් අප අවංක ලෙස කනගාටු විය යුතුය. පසුගිය
මැතිවරණයෙන් සිදුවූයේ දීර්ඝ කාලයක් ජීවත් වූ එම අශීලාචාරත්වය නමැති ගල්ගුහාවෙන්
එළියට ඒමට අවස්ථාවක් ලැබීමය. තවමත් අප ඉන්නේ ශීලාචාර තැනක නොව ශීලාචාරත්වය කරා යන
ගමනකය. නැවත සුපුරුදු ගල්ගුහාවට නෑවිත් ශීලාචාරත්වය කරා යන ගමන තවදුරටත් ඉදිරියට
යා යුතුය. ඉදිරි මැතිවරණය යොදාගත යුත්තේද තවත් පිම්මක් ඉදිරියට යෑම පිණිස මිස
ආපස්සට ඒම සඳහා නොවේ.
No comments:
Post a Comment