Thursday, April 2, 2015

මස් මාළු කන්නෙ ඇයි?

පූජ්‍යපාද ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමිපාණෝ සභාපති - ශ්‍රී ලංකා අවිහිංසාවාද භික්ෂු මහ සභාව  
මව්බිම පුවත් පතේ අනුග්‍රහයෙනි

වත්මනයේ පමණක් නොව මිනිස් පැවැත්ම ආරම්භයේ සිටම තිබූ න්‍යාය ධර්මතාවක්ය ඉල්ලුමට සැපයුම යන්න. අප මැරුවේ නැත. අප වෙනුවෙන් මැරුවේද නැත. එමනිසා මාංස පරිභෝජනය සත්ත්ව ඝාතනයට අදාළ නොමැති යැයි කිසිදු පැවිදි උතුමකුට නිදහසට කරුණු වශයෙන් කන්න සිතුණාම ඉදිරියට දමන කබරගොයි න්‍යාය කිසිසේත් වලංගු නැති බව පෙන්වා චදෙමු.


ප්‍රාණඝාතය නොකරන්න අනුමත නොකරන්න අනුබලද නොදෙන්න යන පාණාතිපාතා සූත්‍රයට පූර්ණ වශයෙන් අනුගත වූ ශ්‍රී මුඛ දහම මාංස වෙළෙඳපොළටද අදාළය. සාදයකට, දානයකට හෝ මොනයම්ම කරුණකට ඒවා විකිණෙන්නේ වලංගු මුදලකටය. මාංස වෙළෙන්දා පසුදින වෙළෙ¼දාමට සතුන් හෝ මාංස ලබාගන්නේ එම ලබාගත් මුදලින්ය. මොහු කිසිවිටෙක මාංස විකිණූ­ මුදලින් බෙහෙත් කඩයක්, පොත් කඩයක් හෝ කෝපි කඩයක් දැමීමට එම මුදල් වැය කරන්නේ නැත. මෙනයින් බලන විට මාංස සතුන් හැරෙන්න වෙනත් වෙළෙ¼දාමක් කිසිසේත් මොහු සිත් ගන්නේ නැත.


කරුණු මෙසේ හෙයින් සුදනනි! ඔබ මාංස මිලදීගත් මුදල් ලාභාංශද සමඟින් පසුදින වැය වන්නේ සතුන්ගේ මරණ සඳහාය. එවිට ඔබ හා දායකයන් ප්‍රාණඝාතයට කෙළින්ම හවුල් වී ඇත. ඔබ වැය කරන මුදල් ඉදිරි මරණවලට අනුබල දී ඇත. අනුගත වී ඇත. අප දන්නා පරිදි කිසිදු සත්ත්වයෙක් තෘෂ්ණභරිතයන්ගේ දිව පිනවීම සඳහා සිය ජීවිතය දන් දෙන්නේ නැත. තිරිසන් අපායේ දිවි ගෙවන්නන් අතර සියයට අසූපහක් පමණ ඇත්තේ බඩ දරු අම්මලාය. සිය දරුවන්ට පණ මෙන් ආදරේය. එය විශ්ව ධර්මතාවයි.
වෙළෙ¼දාමට හෝ පාරිභෝජනයට මාංස ලබාගන්නේ තමාට තමාව ආරක්‍ෂා කරගත නොහැකි, කුරිරු මරණ දඬුවමකට ලක්වන සරණ විය යුතු මෙවන් අන්ත අසරණයන්ය. මේ හේතු කාරණා නිසයි සම්බුදු පියාණන් මාංස සත්ත්ව ආදිය නොකළ යුතු වෙළෙදාම වශයෙන් දේශනාකොට වදාළේ. මාංස සහ සතුන් වෙළෙ¼දාම නිසාය මෙපමණ කුරිරු භයංකර ඝාතන රැල්ලක් ලොව පුරා පැතිර පවතිනුයේ. සියලු සතුන් දඬුවමට මරණයට බියපත් බව සහ තමන්ට අනුරූපව සිතන්න යැයි දේශනා කළෝද බුදුන් වහන්සේමය. අනුබල දීමද ඝාතනය අනුමත කිරීමක් බවද වටහාගන්න.


දෙවියන් වහන්සේ මැවූ නිසාත් ආහාරයට නිසාත් අප මාංස අනුභව කරනවා. අප සතුන්ට මෛත්‍රිය කරන්නේ නැත. අපට එහෙම සිතෙන්නේත් නැත. බෞද්ධයන් වශයෙන් ඔබ සතුන්ට මෛත්‍රිය වඩමින් උන්ගේ මස් රස කර ගිලදමනවා. කවුද හරි, කවුද වැරැදි? මෙවන් තර්ක විදහාපාමින් ඇතැම් යුරෝපීය පුද්ගලයන් බඩ අල්ලාගෙන අපට සිනාසෙති. මෙවිට අපට ඇතිවන ධර්ම සංවේගය කියාපෑමට වචන නැත.


එසේම මෙයද සිත තබාගතහොත් යහපති. ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පස්වග මහණුන්ට සම්බුදු හිමි පෙන්වාදුන් මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදී සවිස්තර වන සම්මා දිට්ඨියට, සම්මා කම්මන්තයට, සම්මා වායාමයට, සම්මා ආජීවයට මඟ පෙන්වන නිවනට අවතීර්ණ වන මාර්ගයේ සතර සම්මා විග්‍රහයට මාංස වෙළෙ¼දාම, ඒවා පරිභෝජනය කිරීම යහපත් දැක්මට, යහපත් කර්මාන්තයට, යහපත් දිවිපැවැත්මට, යහපත් උත්සාහයට කෙතරම් අදාළ වේදැයි බුද්ධියෙන් විමසන්න. සම්මා සතියෙන් විමසන්න. කරුණු කාරණා එසේ තිබියදී අරිය අට මඟෙන් තොර වැරැදි මාර්ගයකින් යන මිච්ඡා සමාධියකින් නිවනකට අනුගත විය හැකිද?
මහණෙනි! මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණි! බුදුහිමි දෙසූ සේක. විශේෂයෙන් පූජ්‍ය අය අනුන්ගේ ජීවිත භක්‍ෂණය කිරීම ප්‍රඥාවට අහිතකරය. මහා මංගල සූත්‍රය දේශනා කළේ දෙවියන්ට වුවද මනුෂ්‍යයන්ට එය අදාළය. රතන සූත්‍රය දේශනා කළේ භූත කොට්ඨාසවලටය. එයද මනුෂ්‍යයන්ට පෙන්වාදුන් මාර්ග උපදේශයකි. උතුම් කරණීය මෙත්තය දේශනා කළේ විශේෂයෙන් මනුෂ්‍යයන්ටය. මවක් සිය එකම පුතුට වඩන මෛත්‍රිය මෙන් සියලු සතුන්ට මෙත් වඩන්න. මෙසේ මෙත් වඩන්න මාතෘ ගර්භයක නැවැත ඉපදීමට කවදාවත් නොපැමිණෙන්නේය. "නෙහී ජාතු ගබ්බ සෙයියං පුනරේතීතී" නිවන් මාර්ගයට පිවිසෙන්නේය.


ගංගානම් මහා ගංගාවේ වැලි කැට තරම් ප්‍රමාණයකට වැඩියෙන් බුදුහිමිවරු මෙලොව පහළ වී ඇත. එහෙත් අපට තවම නිවන දුරස්ථ වී ඇත. බියකරු තෘෂ්ණා සංසාරයේ අප එරී ඇත. අප හදවත් තුළ මෛත්‍රිය ස්වභාවයෙන්ම පිහිටා ඇත. ඒ අප ප්‍රිය කරන මෙම භවයේදී අපට හමුවූ කිහිපදෙනකු සඳහාය. "මෙත්තංච සබ්බලෝකස්මිං මාන සම්භාවයේ අපරිමාණං" හදවත් තුළ නොමැත. ප්‍රඥාවෙන් වටහාගැනුම යහපති. බුද්ධිමත් වාසනාවන්තයෙනි.
අග්ගිකභාරදේවාජ බමුණාට සම්බුදු හිමි දෙසූ වසල සූත්‍රය සහ සසර බිය දැක පැවිදි වූ භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් දෙසූ පිළිපැදිය යුතු කරුණු දහයක් අඩංගු දස ධම්ම සූත්‍රය කිහිප වතාවක් කියවා සිංහල තේරුම සිතට ගන්න. සාධුනි!!!
"බුද්ධා ලොකානුකම්පකාති"

No comments:

Post a Comment